Saturday, April 22, 2017

Ford Flathead V8: මසල් කාර් කලාවේ ඔරිජිනල් හදවත


එක්දාස් නමසිය විසි ගණන්වල අන්තිම හරියට වෙන්න, එක්තරා අන්ධකාර දවසක, හෙන්රි ෆෝර්ඩ් මහත්මයා මිචිගන් වල ෆෙයා ලේන් වත්තට වෙලා දඩ බ්ලැක් විලෝ ගහක් දිහා බලාගෙන ඉන්නවා....

උන්නැහේ හෙන මූඩ් ගහලා ඉන්නේ...

හෙන්රි ෆෝඩ් මහත්මයා කාර් ලෝකෙට පය ගැහුවේ 1901 දී 'හෙන්රි ෆෝඩ් මෝටර් කම්පනි' එක හදාගෙන. ඒ වුණාට එතුමා 1902 දී තමන්ගේ නමත් අරගෙන ඒ කොම්පැනියෙන් අයින් වුණා. එතකොට ඒ කොම්පැනිය කැඩිලැක් වුණා. ඒ කාලේ කාර් ලෝකේ වෙච්චි දේවල් ඔය වගේ තමයි. ඉතිහාසය අරන් බැලුවොත් කාර් ලෝකේ ප්‍රසිද්ධ අය හැමෝම ප්‍රසිද්ධ කාර් සමාගම් කීපයකටම මොන ආකාරයෙන් හරි සම්බන්ධයි.

මූඩ් ගැසූ ෆෝඩ් මහතා

1903 දී තමයි ආයෝජකයෝ කීප දෙනෙක්ගෙන් සල්ලි අරගෙන හෙන්රි ෆෝඩ් මහත්මයා ෆෝඩ් මෝටර් කම්පනි එක පටන් ගත්තේ. ලෝකෙට Moving assembly line සංකල්පය හඳුන්වලා දුන්නේ හෙන්රි ෆෝඩ් මහත්මයා. ඒ වගේම ෆෝඩ් මොඩ්ල් T එක හඳුන්වලා දීලා පෞද්ගලික ප්‍රවාහනය යථාර්ථයක් කළේ හෙන්රි ෆෝඩ් මහත්මයා. ෆොක්ස්වැගන් බීට්ල් එක වාර්තා පිට වාර්තා තියනකල් ලෝකේ වැඩියෙන්ම අලෙවි වුණු කාර් මාදිලිය විදිහට වාර්තාව හිමිවෙලා තිබුණේ මේ මොඩ්ල් T එකට (නැහැ, ටොයෝටා කොරොල්ලා එකට වත් වෙන කිසිම මොඩ්ල් එකකට වත් මේ වාර්තාව අයිති නැහැ. කොරොල්ලා කියන්නේ ඩිසයින් එකක් නෙමෙයි, ඒක නිකම් නේම් ප්ලේට් එකක් විතරයි. කොරොල්ලා මුල් කාලේ ආපු මොඩ්ල් සහ දැන් එන මොඩ්ල් අහසට පොළව වගේ. ෆොක්ස්වැගන් ගොල්ෆ් එක වුණත් එහෙමයි. හැබැයි මොඩ්ල් T එකවත් බීල්ට් එකවත් ප්‍රඩක්ෂන් එක ඉවර වෙනකල් එහෙම 'අයියේ තෝ කැත වෙලා තියන තරමක්... මේ උඹමද බොල ඇත්තටම?' කියලා අහන්න තරමට වෙනස් වුණේ නෑ).

ඒ වුණාට විස්සේ දශකේ අන්තිම වෙද්දී ෆෝඩ් මහත්මයට කෙළවෙන්න පටන් අරං තිබුණා. 

විස්සේ දශකේ මැද්දේ වෙනකොට Chevrolet එක ඌරගේ මාළු ඌරගේ ඇඟේම තියලා කපන්න පටන් අරං තිබුණේ. 1925 වගේ වෙනකොට Chevrolet එක ෆෝඩ් එකට වඩා ආදායම් උපයන්න පටන් අරන් තිබුණා. තව ටික කාලයක් යද්දී Chevrolet මාකට් ෂෙයාර් එක ෆෝඩ් එකට වඩා ඉහළ ගියා.  ආර්ථිකයේ ගැටලු සහ අලුත්වැඩියා කටයුතු වගේ දේවල් නිසා 1927 දී ෆෝඩ් සමාගම මාස කීපයකට වහලා තිබ්බා. අලුත් අවුරුද්දේ කඩේ තිබ්බ අන්තිම කෙහෙල් ඇවරිය ගන්න රන්මලීගේ කරට උඩින් පැන්න සිරිදාස මාමා වගේ Chevrolet එක දුවලා ගිහින් තවත් ටිකක් මාකට් එක ඇල්ලුවා.... 1929 දී Chevrolet එක 'හතරේ ගානට හයේ එකක්' කියලා ස්ලෝගන් එකකුත් ගහගෙන ලාබෙට සිලින්ඩර 6 එන්ජිමක් එක්ක කාර් සහ ට්‍රක් එළියට දාන්න ගත්තා. ඒ කියන්නේ ඇවරිය ගේමක් නැතුව සිරිදාස මාමාගේ අතට ගියා. 



අන්තිමට එක්දාස් නමසිය විසි ගණන්වල අන්තිම හරියට වෙන්න, එක්තරා අන්ධකාර දවසක, හෙන්රි ෆෝර්ඩ් මහත්මයා මිචිගන් වල ෆෙයා ලේන් වත්තට වෙලා දඩ බ්ලැක් විලෝ ගහක් දිහා බලාගෙන මනෝ ගහන්න පටන් ගත්තා.

අන්තිමට එතුමාට උගුඩුවා සීලිමට පැන්නා වගේ දිඩිස් ගාලා මරු අදහසක් ආවා...

"තොපි හයක් කියකිය රඟාපියවු නිගා, මම අටක් හදලා දානවා තගා..." එතුමා ගහ දිහා බලාගෙන මිමිණුවා. අර ලංකාවේ සිඟිති පාතාලේ වගේ ඉස්කෝලේදී ගුටිකාපුවා ගැන තනියෙන් දත්මිටි කකා නෙමෙයි. එතුමා එහෙම කිව්වේ සිරාවටම.

මීට කලින් Léon Levavasseur කියලා හාදයෙක් V8 එන්ජිමක් හදලා තිබ්බා. ඒක හයි කළේ ප්ලේන් වලට.  කැඩිලැක් එකත් මීට කලින් V8 එන්ජිමක් තමන්ගේ කාර් වලට භාවිතා කරලා තිබ්බා. තව ගොඩක් දෙනෙක් V8 එන්ජින් එක එක විදිහට පාවිච්චි කරලා තිබුණු බව ඇත්ත. නමුත් ඒවා හරිම සංකීර්ණ එන්ජින්. V8 එන්ජිමක් මහා පරිමාණයෙන් හදන එක කරන්න බැරි දෙයක් කියලයි ඒ දවස් වල කවුරුත් විශ්වාස කළේ. නමුත් ලෝකෙට Mass Production කාර් කලාව හඳුන්වලා දීපු හෙන්රි ෆෝඩ් මහත්මයා 'ඕන *කක්' කියලා අභියෝගය භාරගන්න තීරණය කළා.


Léon Levavasseur


පොරගේ එන්ජිම හයිකරපු ප්ලේන් එකක්
ඇත්තටම ඉතිං එහෙම අවදානමක් ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බෙත් නෑ. ගිය විදිහට ගියා නම් එතුමාට වෙන්නේ අර හා හා හරි හාවා වගේ වලක් කපාගෙන උඩින් පියනක් ගහගෙන හැංගෙන්න තමයි. මොකද ඇත්තටම ෆෝඩ් කොම්පැනිය තිබ්බේ වැලේ වල්, මුලේ මුල් සහ පොලේ පොල් නැතිවෙන තත්වෙක.

කොහොම වුණත් මේ තීරණය හැම කොල්ලටයි බල්ලටයි පූසටයි මැක්කටයි කියන්න හෙන්රි ෆෝඩ් මහත්මයට අවශ්‍ය වුණේ නැහැ. කෝකියෝ වැඩි වුණාම ටික දවසකින් එක කෝකියෙක් නොකියම වට්ටෝරුවත් අරගෙන වෙන හෝටලේකට මාරු වෙන නිසා ෆෝඩ් මහත්මයා මේ වැඩේ භාරදුන්නේ විශ්වාසවන්තම ඉංජිනේරුවෝ සහ තවත් ශිල්පීන් සෙට් එකකට විතරයි. මෙහෙම හොර වැඩක් යන්න බව පිට අය තියා ෆෝඩ් කොම්පැනියේම බහුතරයක් වත් දැනගෙන හිටියේ නැහැ. වැඩේ ගියේ නිදාගෙන ඉන්න පූසට හොරෙන් ගෙදර උයන්න මාළු හෝදන ගානට තමයි. 

හෙන්රි ෆෝඩ් මහත්මයා ෆෝඩ් ෆ්ලැට්හෙඩ් එන්ජිමක් පරීක්ෂා කරමින්

කොහොමෙන් කොහොම හරි වැඩේ භාරදීපු ටීම් එක හොර රහසේම වැඩේ සාර්ථක කරගත්තා. වැඩේ ඉන්තේරුවෙන්ම ගොඩ බව දැනුණට පස්සේ තමයි හෙන්රි ලොක්කා ටිකක් හරි වැඩේ ලීක් කළේ. ඒ කළෙත් ඉතිං අලුත් කාර් එකලස් කරන්න කට්ටිය පුරුදු කරන්න ඕනේ නිසා. 

ෆෝඩ් සමාගමේ Model T එකට පස්සේ වැඩියෙන්ම සාර්ථක වෙලා තිබුණු කාර් එක තමයි Modal A එක. මේක වෙනුවට තමයි 1932 දී අලුත් කාර් එකක් හඳුන්වලා දෙන්න තිබ්බේ. පොළොස් ගැටේ වෙනුවට කොස් ගෙඩි එකයි වරකා ගෙඩි දෙකයි කිව්වා වගේ එක මොඩ්ල් එකක් වෙනුවට මොඩ්ල් තුනක් ආපි! මේවා නම්කරලා තිබ්බේ Model B, Model 18 සහ Model 40 කියලා. 

ඔය Model 18 සහ Model 40 දෙකේ තමයි අර හැංගි හොරා වෙස් බැඳපු V8 එන්ජිම තිබ්බේ.මේවායේ එක එක බොඩි ස්ටයිල් තිබ්බා. සාමාන්‍ය 4 door Sedan එක වගේම 2 door Coupe, 2 door sedan, 2 door Roadster, 2 door Cabriolet සහ 2 door Phaeton ඒ අතරින් ප්‍රධානයි.

අද කට්ටිය මේ එන්ජිම දන්නේ ෆෝඩ් ෆ්ලැට්හෙඩ් V8 එන්ජිම (Ford Flathead V8 Engine) කිව්වම තමයි. 




ඉස්ඉස්සරලාම Model 18 සහ Model 40 දෙක ගැන විස්තර ඇහුවම ඇමරිකාව නිකං බඹර චක්කරයක් පත්තු වෙනවා දැකපු කටුස්සෙක් වගේ ගල් ගැහුණා. මොකද මීට කලින් මහා පරිමාණයෙන් නිෂ්පාදනය වුණු කිසිම කාර් එකකට V8 එන්ජිමක් ඇවිත් තිබ්බේ නෑ. V8 එන්ජිමක් මහා පරිමාණයෙන් හදන්න පුළුවන් කියලා කවුරුවත් හිතුවෙත් නෑ. ඒ වගේම ක්‍රමයෙන් හන්ටර් වෙමින් තිබුණු ෆෝඩ් සමාගමට මේ වගේ බල්ටියක් ගහන්න පුළුවන් වේවි කියලා කවුරුවත් ඔට්ටු අල්ලලා තිබ්බෙත් නෑ. 

නිකං සිලින්ඩර් හතරේ මොඩ්ල් B එක ගැන කාගෙවත් ලොකු උනන්දුවක් තිබ්බේ නෑ. හැමෝම අද පවා උනන්දු වෙන්නේ ෆ්ලැට්හෙඩ් V8 එන්ජිම ආපු මොඩ්ල් දෙක ගැන තමයි. 








කොහොම වුණත් මුලින් ආපු ෆ්ලැට්හෙඩ් V8 එන්ජින් වල ප්‍රශ්න ටිකක් තියන බව ඉක්මනටම මීටර් වෙන්න ගත්තා. මුල්ම චෝදනාව ආවේ එන්ජින් ඔයිල් පිච්චෙන එක. ඊට පස්සේ  ඕවර්හීට් යනවා වගේ තව එක එක ප්‍රශ්න එන්න ගත්තා. මේවාට විසඳුම් දෙන්න ෆෝඩ් එකට සෑහෙන මාළු කටු, කරෝල කටු, මස් කටු, උම්බලකඩ කටු විතරක් නෙමෙයි කොහිල කටු සහ කෝමාරිකා කටු පවා කන්න වුණා. අන්තිමට මේ කටු ටික කාලා දිරෝලා ඉවර වෙලා ෆෝඩ් සමාගම 1935 දී V8 එන්ජිම දියුණු කරලා Model 48 එක හඳුන්වලා දුන්නා. 

1935 දී කාර් 820,000 ක් විකුණලා ඒ අවුරුද්දේ Chevrolet එක පරද්දන්න ෆෝඩ් සමාගමට පුළුවන් වුණා. 



එදා ඉඳන් අද දක්වාම ගොඩක් දෙනෙක් ෆෝඩ් ෆ්ලැට්හෙඩ් V8 එන්ජිමට හරිම ආසයි. ඒක ස්ටාර්ට් වුණාම තියෙන්නේ හරිම ගාම්භීර හඬක්. ඒ වගේම ඒ එන්ජිම ලොකු බලයක් එන්න වැඩිදියුණු කරන්නත් පුළුවන්. මේ වෙනකොට ෆෝඩ් ෆ්ලැට්හෙඩ් එන්ජිමකින් ලබාගෙන තියන වැඩිම බලය සම්බන්ධ වාර්තාවට අනුව ඒ බලය 700hp කියලා තමයි සටහන් වෙන්නේ. ඒකෙන් ලබාගත්තු වේගය පැයට හැතැම්ම 300 ක් (පැයට කිලෝමීටර් 483 ක්) ලු. ඒ වගේම මේ එන්ජින් අදටත් හොට්රොඩ් කාරයෝ එක එක වැඩ දදා පාවිච්චි කරනවා (හොට්රොඩ් ගැන මම කතා කරන්නේ නැහැ, මොකද ඔය වචනේ දැකපු ගමන් අපේ අය දුවලා ගිහින් හොඳට තියන කාර් කපලා හිච්චි ජපන් එන්ජින් ඔබලා 'පුල් මොඩිපයි' කියලා කාලා දාන නිසා). 

අද අපි Oldsmobile Rocket ගැන, Pontiac GTO ගැන, Ford Mustang ගැන කතා කරකර මසල් කාර් මඩ ගොඩේ කිමිදුණාට ඇත්තටම් ප්‍රඩක්ෂන් කාර් එකකට ලොකු V8 එන්ජිමක් හයිකරන ට්‍රෙන්ඩ් එක පටන් ගත්තේ ෆෝඩ් ෆ්ලැට්හෙඩ් V8 එන්ජිම ආපු ෆෝඩ් මොඩ්ල් 18 සහ මොඩ්ල් 40 කාර්. ඒ අනුව බැලුවම ෆෝඩ් ෆ්ලැට්හෙඩ් V8 එන්ජිම තමයි මසල් කාර් කලාවේ ඔරිජිනල් හදවත... 

කාර් පිස්සෝ පරම්පරා ගාණකට පණ පොවපු ඒ හදවත තාමත් ගැහෙනවා...

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
22.04.2017 
www.facebook.com/CarPissuwa

Monday, April 17, 2017

කාර් පිස්සුව රයිගම්පුර සවාරි: පතහවත්ත




පානදුර ඉඳන් යනකොට හොරණ පාරේ කොතලාවල හන්දියෙන් පතහවත්ත පන්සල පාරට හරෝලා සෙකන්ඩ් ගියර් එකෙන් තර්ඩ් එකට එන්නත් කලින් 'අප්පට සිරි' කියවෙන ජාතියේ ලොකු කබොක් බැම්මක් පේන්න ගන්නවා. ඒ නිසා පතහවත්ත  වඳින්න හෝ බලන්න එන අයට ආයේ පාර වරදින්නේ නෑ. ඒ කබොක් බැම්මේ එච්. පී. ජයසූරිය මහතාට පින් පිණිස හයිකරපු පැරණි ගේට්ටුවෙන් ඇතුළට දාලා, ලස්සනට වවලා තියෙන තණකොළ යායට නොරිදෙන්න වාහනේ නවත්තලා එළියට බැස්සම රයිගම්පුර රාජධානියේ තවත් එක සුන්දර උරුමයකට එබිකම් කරන්න පුළුවන්.

මම හැමදාමත් කියනවා වගේ පානදුර - රත්නපුර පාර කියන්නේ මම බීට්ල් එක එළවන්න ආසම පාරක්. පානදුරෙන් රත්නපුර පාරට දාලා එළුවිල හරිය පහුකළාට පස්සේ චයිනීස් කෑම කඩ, කොමියුනිකේෂන් සහ හාඩ්වෙයාර් පොඩ්ඩක් අඩුවෙලා පාරේ පොඩි හයිවේ-ඉෂ් ගතියක් මතුවෙනවා. ඒ වෙලාවට බීට්ල් එකේ විසිල් එකේ හඬ මතුවෙන්න ගන්නේ හරියට උදේ හවා බුදුන්ට මල් පූජා කරලා ගෑනුන්ගේ සුබසිද්ධිය පතන ගායකයන්ගේ හඬවල් මැද්දෙන් හෙන්රි කල්දේරාගේ හඬ මතුවෙනවා වගේ...




කළුතර දිස්ත්‍රික්කය කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ අපූරු පරිච්ඡේද බොහොමයක් කැටිකරගත්තු දිස්ත්‍රික්කයක්. රටේ ඉතිහාසයේ අවුල්පවුල් ගහණ සමයක් වුණු රයිගම්පුර රාජධානිය තිබුණේ වර්තමාන කළුතර දිස්ත්‍රික්කය ඇතුළේ. ඒත් සාම්ප්‍රදායිකව අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර වගේ තැන්වලට ලැබෙන අවධානය කළුතරට ලැබෙන්නේ නැහැ. කළුතර පැත්තේ ඉතිහාසය හොයාගෙන 9 ශ්‍රී 5333 එක්ක යන ගමනේ මුල්ම අදියර වුණේ බණ්ඩාරගම සහ ඒ ආසන්න තැන්වල තියන පෞරාණික විහාරාරාම කීපයක් සොයා යාම. මේ තැන් ගැන අන්තර්ජාලයෙන් පිළිවෙළකට විස්තර හොයාගන්න පුළුවන් වෙන්නේ බණ්ඩාරගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක සහ දැනට විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහත්මයා පවත්වාගෙන ගිය (මම හිතන්නේ දැනට යාවත්කාලීන නොවෙන) බණ්ඩාරගම (bandaragama.wordpress.com) බ්ලොග් එකෙන් විතරයි. ඊට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයට පත්කරපු 'පෞරාණික ස්ථාන හා ස්මාරක' කියන පොත් මාලාවේ කළුතර දිස්ත්‍රික්කයේ පෞරාණික ස්ථාන ගැන පොතක් තියනවා. මේකේ තියන විස්තර සංක්ෂිප්ත වුණාට ප්‍රයෝජනවත්. 1927 දී ඒ. ඩී. ආරොන් අප්පුහාමි කියලා මහත්මයෙක් 'රයිගම් කෝරළ ඉතිහාසය' කියලා පොතක් ලියලා පළකරලා තියනවා ලු. අවාසනාවකට මට තවම ඒ පොත කියවන්න හම්බවෙලා නැහැ. ඓතිහාසික සාහිත්‍ය සාක්ෂි ගත්තොත් මයුර සංදේශයේ 51 පද්‍යයේ ඉඳන් 56 පද්‍යය දක්වා (කේ. ජයතිලක සංස්කරණය) රයිගම්පුර වැනුමක් තියනවා. ඒත් මේක සාහිත්‍ය හෝ ඉතිහාස බ්ලොග් එකක් නොවන නිසා මම ඒ පද්‍ය උපුටලා දක්වන්න යන්නේ නැහැ. 

මූලික අදියරේදී මගේ අවධානයට ලක්වුණේ පොකුණුවිට, ලෙනවර, වීදාගම, පතහවත්ත සහ රමුක්කන කියන විහාර. මේ අතරින් පැරණිම ශිලා ලේඛනය හම්බවෙලා තියෙන්නේ රමුක්කනින්. ඒ වගේම මේ විහාර අතරින් ප්‍රමාණයෙන් කුඩාම විහාරයත් රමුක්කන. හොයාගන්න ලේසිම තැන වීදාගම. හොයාගන්න අමාරුම සහ නගින්න දුෂ්කරම, ඒත් ලස්සනම තැන ලෙනවර. වැඩි මහන්සියක් නොවී 'ඓතිහාසිකත්වය' උපරිමයට අත්විඳින්න පුළුවන් තැන පොකුණුවිට. වෙනස්ම තැන පතහවත්ත.




මම මේ විස්තර කරන විදිහෙන් ඔයාලට පේනවා ඇති මේක පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික ගවේෂණයක් නොවන බව. මේක ඇත්තටම කාර් පිස්සුව සහ රටේ ඉතිහාසය එකට මුසුකිරීමක්. ලංකාවේ ඉතිහාසය ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධ ඉතිහාසයක්. ඒක කාටවත් නෑ කියන්න බැහැ. ඒ වුණාට රටේ සිංහල බෞද්ධකම රැකගන්න කියලා ෆේස්බුක් එකට ඇවිත් වාතය පිටකරන ගොඩක් දෙනෙක් කසිප්පු ලාල් හන්දියේ අටෝපු බුදු පිළිමේ රැකගන්න ගර්ජනා කළාට පතහවත්ත වගේ නමක් කිව්වම පර්ච් එකක් කීයද මචං කියලා අහනවා. ඒ නිසා මම මේ උත්සාහ කරන්නේ ජාති ආගම් සීමා මායිම් නැති කාර් පිස්සුව එක්ක රටේ ඉතිහාසය සහ සංස්කෘතිය වඩාත් පුළුල් අවකාශයකදී එකතු කරන්න.

අනික් අතට, රටේ තාමත් කොමර්ෂල් බුද්ධාගමේ ගෝනුසු අඬුවලට අහුවුණේ නැති පැරණි සිංහල බෞද්ධ ස්මාරක වල අමුතු සන්සුන් බවක් තියනවා. බුද්ධාගම කියන්නේ 'ඔන්න ඔය මගුල අතඇරලා දාලා තමන්ගේ වැඩක් බලාගනිල්ලා' කියන ආගමක්. එහෙම දේවල් කියන මිනිස්සු ගාව තියන අර විශ්වාසයේ සුවඳ නියම බෞද්ධ ස්මාරක වල තාම තියනවා. අවාසනාවකට මේ වගේ සමහර තැන්වලට මිලිටරි භික්ෂූන් සහ මිලිටරි දායකයෝ බැහැලා ඉන්න නිසා මේ තැන් විනාස වෙලා ගිහින්. කොහොම වුණත් බණ්ඩාරගම අවට බොහෝ තැන් තාමත් මේ ඉරණමට ලක්වෙලා නැහැ. ඒක හිතට සතුටක්. (ඒ නිසාම මේ ටික ලිවුවේ ටිකක් බයෙන්. දැන් ඔය තුන්හෙලේ හිකනලා, තුන්හෙලේ උගුඩුවා, තුන්හෙලේ පොළොස් කොට්ටෝරුවා වගේ නම් දාගෙන ඉන්න මොකෙක් හරි ඉම්පීරියල් ගැලුමේ හොරෙක් මේ වගේ තැනක ගිහිං ජරා කරලා ආවොත් මටත් එක්ක පවු...).


ලෙනවර 

රටේ ඓතිහාසික ස්මාරක ගැන උනන්දු වෙන කොට මම හැමතිස්සෙම ඒ වගේ තැනකින් ශිලා ලේඛනයක් හම්බවෙලා තියනවද කියලා හොයනවා. සිංහල භාෂාවේ එක ප්‍රධාන විශේෂත්වයක් තමයි ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සියවසේ වගේ ඉඳලා අඛණ්ඩව ලේඛන හමුවීම. බුද්ධාගම රට ඇතුළේ ව්‍යාප්ත වුණාට පස්සේ භික්ෂූන්ට ලෙන් පූජා කිරීමේ ඉඳන් පොළොන්නරු කතිකාවත වගේ විශාල ප්‍රමාණයේ නීතිමය ලේඛන ගලේ කෙටවීම් වගේම සීගිරි ගී වගේ මිනිස්සු නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම් දක්වා සිංහල භාෂාවේ පරිණාමය ගැන ලිඛිත සාක්ෂි මහා ගොඩක් තියනවා. මහාචාර්ය රාජ් සෝමදේව ඉතිහාසය දිහා බොහොම විද්වත් දෘෂ්ටියකින් බලමින් හිටපු අතීතයේ එතුමාගෙන් වගේම මහාචාර්ය දඹර අමිල හිමියන්ගෙන් ශිලා ලේඛන ගැන අවුරුද්දක කාලයක් ඉගෙනගැනීමේ වාසනාව මට ලැබුණා. ඒ කාලේ ශිලා ලේඛනයක ස්පර්ශ ලාංඡනයක් දිහා බලාගෙන අකුරෙන් අකුර ඒක ලිහාගන්නකොට දැනුණු සතුට මට අද වගේ මතකයි. ඒත් සමකාලීන සිංහල භාෂාව ගැන පසුකාලීනව වැඩි අවධානයක් යොමුකරපු නිසා පැරණි සිංහල සම්බන්ධයෙන් මට කැපකරන්න පුළුවන් කාලය අඩුවුණා. ඒ ගැන මට තියෙන්නේ දුක සහ සතුට මිශ්‍ර වුණු හැඟීමක්.



රමුක්කන (මේකේ ලියලා තියෙන්නේ රඹුක්කන කියලා)
පොකුණුවිට 



ලෙනවර 


මම කලිනුත් කිව්වා වගේ, බණ්ඩාරගම අවට ඓතිහාසික විහාර වලින් කුඩාම විහාරය තමයි රමුක්කන. ඒ වගේම බස්නාහිර පළාතෙන් ලැබුණු පැරණිම ශිලා ලේඛනයක් එහෙ තියනවා. මේක ක්‍රිස්තු පූර්ව පළමු සියවස සහ ක්‍රිස්තු වර්ෂ පළමු සියවස අතර කාලයට අයත් ශිලා ලේඛනයක් කියලා හිතන්න පුළුවන්. මේකට අනුව සංයුක්ත නිකාය කට පාඩමින් පවත්වාගෙන ආපු භානක පරම්පරාවේ භික්ෂූන් දෙනමක් මේ විහාරයේ වැඩවාසය කරලා තියනවා. අවාසනාවකට අපි ගිය දවසේ පන්සල ඇතුළේ අවුරුදු උත්සවයක් පැවැත්වුණු නිසා නිදහසේ වැඩි විස්තර හොයන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. කොට්ට පොර වලට චියර් කිරීම් සහ පොල්ල වටේ කැරකීම කියලා ගේම් එකකට කට්ටිය කැඳවීම් වගේ දේවල් ස්පීකර් වලින් මරහඬ දීලා කියද්දී ඓතිහාසිකත්වය දියවෙලා යන්නේ හරියට උඩවලවේ වාන් දොරටුව ගාවින් අතඇරපු රුපියල් දෙකේ කිරි ටොපියක් වගේ.


රමුක්කන 

රමුක්කන බෝධිය 

මේ අතින් නිදහසේම බීට්ල් එකත් අරගෙන ගිහින් හිත පුරා දැකගන්න පුළුවන් වුණු තැනක් තමයි පතහවත්ත ශ්‍රී පුෂ්කරාරාමය. දැන් විහාරයක් වුණාට මේක රයිගම් බණ්ඩාර වාසය කරපු මාලිගය කියලයි හිතන්නේ. විහාර පරිශ්‍රයේ පිහිටීම, ප්‍රාකාරයේ දිග පළල සහ පොකුණ අනුව බැලුවාම ඒක ඇත්ත වෙන්න පුළුවන්. 1412 දී හයවෙනි පරාක්‍රමබාහු රජතුමා මෙතන ඔටුනු පළඳලා රයිගම් රාජධානිය නිල වශයෙන් ආරම්භ කරපු බවත්, එතනින් එහාට රයිගම් බණ්ඩාර මේකේ පාලනය අරගෙන ගිය බවත් sinhala.news.lk වෙබ් අඩවියේ පළවුණු ලිපියක සඳහන් වෙනවා. පතහවත්ත විහාරයේ පොකුණ හෙවත් 'පතහ' ප්‍රතිසංස්කරණය කිරීමට පෙර සහ පසු ඡායාරූප ඒ ලිපියෙන් බලාගන්න පුළුවන්. ලින්ක් එකට යන්න කම්මැලි අය වෙනුවෙන් ඒ ලිපියේ වැදගත් කොටසක් මේ විදිහට උපුටා දක්වනවා. මේකේ විස්තර සම්බන්ධ සියලු හිමිකම් ඒ වෙබ් අඩවිය, රචකයා/රචකයන් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුයි.

"මෙම පොකුණ පිහිටි විහාරයට අයත් ඉඩම වටා මීටර් දෙක හමාරක් පමණ උස කබොක් ගලින් නිම කළ ප‍්‍රාකාරයක් වේ. විහාරයට ඇතුළු වන දොරටු ආසන්නයේ ඇති මෙම කබොක් ගලින් ඉදිකළ පොකුණ මීටර් 34 දිගය. එහි පළල මීටර් හැට දෙකහමාරකි. ගැඹුර මීටර් හතරකි. උයන් වත්ත වැව හා ඍජුව සම්බන්ධ වෙමින් පැරණි මාලිගය සඳහා අවශ්‍ය ජලය රැස් කර තබා ගැනීමට මෙම පොකුණ ඉදිකර ඇත. ඒ සඳහා පොකුණ ඇතුළත උතුරු හා බටහිර බැම්ම යා කරමින් තනන ලද කුඩා ළිඳ, විශේෂ කාර්යය භරයක් ඉටු කරන්නට ඇති බව විද්වත් මතයයි. පොකුණේ නැගෙනහිර බැම්ම ජල ධාරිතාව දරා ගැනීමට සුදුසු වන සේ බදින ලද කබොක් සහ විශේෂ මැටි බදාමයක් භාවිත කර ශක්තිමත්ව බැඳ ඇති අතර ජලය රදවා තබා ගැනීමට කිරි මැටි ආවරණයක් පොකුණේ පත්ලට යොදා තිබී ඇත. පොකුණ ඉදිකිරීමේ දී කබොක් ගල් එකින් එක බැඳීම සඳහා සකස් කළ මැටි බදාමයක් පමණක් යොදා ගෙන ඇති අතර පොකුණේ අත්තිවාරම සඳහා ඉරා ගත් දැව විශේෂයක් භාවිත කර ඇත. යොදාගත් දැව විශේෂය බොහෝ දුරට හොර හෝ කුඹුක් වන්නට ඇති බව අනුමාන කරන අතර එය වැඩිදුර තහවුරු කර ගැනීම සඳහා ලබාගත් දැව නියැදි මේ වනවිට රාජ්‍ය දැව සංස්ථාව වෙත යොමු කර ඇත."


කොතලාවල හන්දියෙන් හරවලා පතහවත්ත පන්සල පාරට දාලා අර විසාල ප්‍රාකාරය පේන්න ගත්තම හිතට දැනුණේ 'අනුරාධපුර' හැඟීමක්. වෑන් වල හෝ ත්‍රීවීලර් වල මේවා බලන්න ගියාම නොදැනෙන අමුතු හැඟීමක් බීට්ල් එකේ ගියාම හිතට දැනෙනවා. ප්‍රාකාරේ දකිනකොටම මගේ හිතට ආවේ විහාර භූමියේ බීට්ල් එක පාක් කරලා තියනකොට කොච්චර ලස්සන වෙයිද කියන එකයි. 





පතහ ප්‍රතිසංස්කරණය කරලා කියන එක මම එතනට යනකොට දැනගෙන හිටියේ නෑ. මොකද අජිත් පී. පෙරේරා මහත්මයාගේ බ්ලොග් එකේ තියන ලිපිය ටිකක් පැරණි එකක්. ඒ කාලේ පතහ ප්‍රතිසංස්කරණය කරලා තිබ්බේ නෑ. විහාර භූමියට ඇතුළු වෙනකොටම පොල් සහ තණකොළ වවලා ඉතාම පිරිසිදුව තියාගෙන ඉන්න විශාල භූමියකට එහායින් පන්සලේ ශාලාව සහ ආවාස ගේ පේන්න ගත්තා. ඊට දකුණු පැත්තේ ටිකක් දුරින් බෝධිය සහ බුදුගෙය පෙනුණා. ඒ අතර මැද්දේ යකඩ වැටකින් වටකරලා තියෙන්නේ පුරාවස්තු කියලා තේරුම් ගන්න මට ළඟට යන්න අවශ්‍ය වුණේ නැහැ. මගේ ඇහැට සහ හිතට ඕවා හොඳට හුරුයි. ඒ නිසා ඒ වෙලාවේ බීට්ල් එකේ ජනේලෙන් දකුණු පැත්ත බලන්න මට අමතක වුණා.

අපි යද්දී හිසතෙල් ගෑමේ නැකතට අදාළ චාරිත්‍ර වාරිත්‍ර ඉවර වෙලා, කට්ටිය බොහෝ දෙනෙක් පිටවෙලා ගිහින්, පන්සල ආයෙත් සන්සුන් වෙලා තිබ්බා. අපි පන්සලකට ගියාම ඉස්සරලම හොයන්නේ නිවීසැනසිල්ල. අපි රුවන්වැලිසෑය පාමුලට වඩා අභයගිරිය හෝ ජේතවනය පාමුල ඉඳගන්න ආසා කරන්නේ ඒකයි. පතහවත්තත් ඒ වගේ නිස්කලංක තැනක්. 

බුදුගෙය ඇතුළේ විශාල ප්‍රමාණයේ බුදු පිළිමයක් සහ තවත් පරිවාර පිළිම රාශියක් තියනවා. මේවා පසුකාලීන නිර්මාණ බව පැහැදිලියි. පිළිමවල කාලසීමාව අනුමාන කරන්න තරම් මගේ පුරාතන සිංහල කලා මතකය අලුත් නැහැ. කොහොම වුණත් 'පිහිට පතාගෙන එන' බෞද්ධයන්ගේ බලපෑමට තාමත් මේ බුදුගෙය ලක්වෙලා නැහැ කියන එක බැලු බැල්මට පෙනෙනවා. බෝ මලුවත් එහෙමයි. බෝ මළුවේ සීමාව සහ එහා පැත්තේ ප්‍රාකාරය අතර වල් වැදුණු බිම් ප්‍රදේශයක් තියනවා. මේ කොටස නිසි කැණීමකට ලක්වෙලා නැති බව කියන්න පුළුවන්. 








බෝ මළුවේ අනික් කෙළවරට ගියාට පස්සේ තමයි මම දැක්කේ පතහ ප්‍රතිසංස්කරණය කරලා බව. එතන පහුකරගෙන ඇවිත් කාර් එක නවත්තලා තිබ්බේ. පරණ ෆොටෝ වල දකින්න නැති ගොඩක් දේවල් ඒ බිමට එකතු වෙලා. සාමාන්‍යයෙන් පුරාවස්තු විනාශ වෙලා යනවා කියන එක උදා හවා අහන්න ලැබෙනවා වුණාට මෙහෙම අපූරු ප්‍රතිසංස්කරණයක් වුණු අවස්ථාවක් ගැන ලේසියෙන් අහන්න ලැබෙන්නේ නැහැ. මිනිස්සුන්ට දුක හිතවන්න හෝ කේන්ති ගස්සන්න බැරි නිසා ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය මේවා වාර්තා කරන්නෙත් නෑ.

පතහ ප්‍රතිසංස්කරණය කරන්න දායක වුණු හැම දෙනාටම ඒකෙ ගෞරවය යන්න ඕනේ. මොකද ඒක ඉතාමත් විශිෂ්ට විදිහට කරලා තිබුණා. දැන් එතන පුරා විද්‍යා කාර්යලයකුත් තියනවා. අපි ගිය දවසේ නම් ඒක වහලා තිබ්බේ (අවුරුදු නිවාඩුව නේ). ඒ වගේම දෙපැත්තේ තණකොළ වවලා ඒ භූමිය ඉතාමත් පිරිසිදුව පවත්වාගෙන යනවා කියලා පැහැදිලිව පෙනුණා. පොකුණේ මාළු වගේම තාරාවෝ දෙන්නෙකුත් ඉන්නවා. අවට පරිසරයේ ලස්සන සහ විහාරයේ ශාන්ත බව එක්ක මේ සේරම එකතු වුණාම හිතට දැනෙන්නේ හරි අපූරු හැඟීමක්. 









ගලින් කරපු පුරාවස්තු කීපයක් මම අර කලින් කියපු ස්ථානයේ තැන්පත් කරලා තියනවා. මේ අතර විශේෂම එකක් තමයි පාද තැබීමේ ස්ථාන දෙකක් සහ එක විවරයක් සහිත වැසිකිළි ගල (මේක කිව්වම හැමෝම අහන දෙයක් තමයි එකපාර දෙන්නෙකුට ඉඳගන්න පුළුවන් එකක්ද කියන එක. ඊට පස්සේ අර එකම ෆේස්බුක් එකවුන්ට් එකේ නම් දෙකම දාගෙන ඉන්න ජෝඩු ගැන ජෝක් එක එනවා. නැහැ, මේකේ දෙන්නෙකුට එකපාර ඉඳගන්න බැහැ. නමුත් ඒක හිතේ ජෝක් අවදි කරන නිර්මාණයක් තමයි). ඉදිරියේදී මේවා ගැන වෙනම තැනක වැඩිදුර කතාකරන්න බලාපොරොත්තුවක් තියනවා. 





විහාරය දැකබලාගෙන ආපහු යන්න ලෑස්ති වෙද්දී මට සුපුරුදු විදිහටම බීට්ල් එකේ ෆොටෝ මහගොඩක් ගන්න අවශ්‍ය වුණා (මේක තමයි 9 ශ්‍රී 5333 අලුත් පෙනුමක් ලැබුවට පස්සේ ගිය පළවෙනි 'සංචාරය'). බීට්ල් එක ඕනෑම පරිසරයකට හරි අපූරුවට මුහුවෙන වාහනයක්. පොදුවේ ගත්තම ඓතිහාසික ස්ථානවල පරිසරය එක්ක පැරණි වාහන මුහුවෙන හැටි හරි අපූරුයි. පන්සල් වල ලොකු හාමුදුරුවරුන්ට අයිති මොරිස් ඔක්ස්ෆර්ඩ්, ඔස්ටින් කේම්බ්‍රිජ් හෝ බෙන්ස් W115/123 වාහන අපි හැමෝම වගේ දැකලා තියනවා. ඒවා ගැන අපිට තියෙන්නේ එක්තරා ආකාරය භක්තිය මුසුවුණු හැඟීමක්. කවදාහරි දවසක ඔක්ස්ෆර්ඩ් එකක හරි කේම්බ්‍රිජ් එකක හරි මෙහෙම පැරණි පන්සලක් බලන්න යාම මගේ හීනයක්. ඒ කොහොම වුණත් ඒ කාරිය බීට්ල් එක මේ වෙනකොට ඕනෑවටත් වඩා හොඳට කරනවා. මම හිතන්නේ ඕනම පරිසරයක ලස්සන දෙගුණ කරන්න බීට්ල් වලට හැකියාව තියනවා කියලයි. මේක මට හොඳටම දැනුණා අනුරාධපුර පූජා නගරයේදී. සමහර විට ඒක කාර් පිස්සෙකුගේ පදනම් විරහිත, භාවාතිශය සිතිවිල්ලක් වෙන්න ඇති.

පතහවත්තෙන් පිටත් වෙලා 9 ශ්‍රී 5333ත් එක්ක අපි ගෙදර ආවේ හරිම තෘප්තිමත් හැඟීමකින්. අතරමගදී රමුක්කනට ගොඩවෙච්චි වෙලාවේ ඇහුණු 'පොල්ල වටේ කැරකීම' වගේ දේවල් වලින්වත් ඒ ප්‍රසන්න හැඟීම මැකුණේ නැහැ. 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රවේශය පහුවෙද්දී නම් හිතුණා ඉක්මනටම ආයේ පාරක් හයිවේ සංචාරයක් යා යුතුයි කියලා. කාර්ය බහුලකම නිසා කාලෙකින් ඒ අත්දැකීම විඳගන්න ලැබුණේ නෑ. 

ඉදිරියේදී පොකුණුවිට, ලෙනවර සහ වීදාගම ගැනත් විස්තර ඇතුව ලියන්න බලාපොරොත්තුවක් තියනවා. නමුත් මේවා ගැන ලියන එකට කාර් පිස්සෝ කැමතිද දන්නේ නෑ. කොහොම වුණත් කීප දෙනෙක් හරි මේවා කියවලා වෙනස් විදිහට හිතන්න ගත්තොත් මට ඒක ගොඩක් වටිනවා. මම හැමදාම කියන්න උත්සාහ කරන්නේ මෙන්න මේ දේ... වාහන කියන්නේ යකඩ විතරක් නෙමෙයි. වාහන කියන්නේ නිදහස. මිනිස්සුන්ට උපන් ගමට පළාතට සීමා නොවී ලෝකේ පුරා යන්න ලැබුණේ වාහන නිසයි. ඒ නිසා වාහන ගැන අපි මීට වඩා පුළුල් විදිහට හිතන්න ඕනේ. එහෙම කරන්න කට්ටිය පොළඹවන්න පුළුවන් වුණොත් අපට ළිං ගෙම්බෝ නොවුණු කාර් පිස්සෝ පරම්පරාවක් බිහිකරන්න පුළුවන් වේවි. 





මේ සංචාර තීරණය කරන්නේ මමද, නැත්තං 9 ශ්‍රී 5333 ද කියලත් මට වෙලාවකට සැකයි. මොකද හැම සංචාරයකම ලස්සනම ෆොටෝවල ඉන්නේ එයා. කොච්චර කොහොම කළත් තැනකට යන්න කලින් ඉන්ටනෙට් එකේ දියබුං ගගහා අදාළ තැන ෆොටෝ හොයද්දී මම ඉස්සරලාම හිතන්නේ බීට්ල් එක අතන පාක් කළාම කොච්චර ලස්සන වේවිද, බීට්ල් එක මෙතන පාක් කළාම කොච්චර ලස්සන වේවිද, අර පාර දිගේ බීට්ල් එක ඩ්‍රයිව් කරනකොට කොච්චර අපූරු අත්දැකීමක් වේවිද, මේ පාර දිගේ යනකොට කොච්චර අපූරුවට බීට්ල් එකේ විසිල් එක ඇහේවිද වගේ දේවල්.

60 දශකයේදී සහ ඊට පස්සේ ලෝකේ පුරා බීට්ල් කල්ට් එකට බැස්ස ගොඩක් දෙනෙක් විස්වාස කළා ලු බීට්ල් එකට ආත්මයක් තියනවා කියලා... 

වෙන්න පුළුවන්...! 

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
16.04.2017 

Sunday, April 9, 2017

ඔස්ටින් 'කළු' ආනන්ද වන මම...



බල්ලෙක් වුණාම තියන ලොකුම වාසිය තමයි 'අවුරුද්දට කලින්', 'වෙසක් එකට කලින්', 'පොසොන් එකට කලින්', 'ඡන්දෙට කලින්', 'කෙල්ල පැනලා යන්න කලින්', 'කොල්ලා හිරේ යන්න කලින්' වගේ දේවල් කියන්න අවශ්‍ය නැති එක...

මේක මට පහළ වුණු එක්තරා විදිහක ගැඹුරු සිතිවිල්ලක්...

මේ දවස් වල හැම එකාම ආනන්ද අයියගෙන් අහන්නේ

'කාර් එක අවුරුද්දට කලින් ගන්න පුළුවන් වෙයි නේද?' කියලා.

ආනන්ද අයියා හැමෝටම කියන්නේ

'අවුරුද්දට කලින් නම් ගන්න බැරි වෙයි' කියලා.

එතකොට ඒ හැමෝම පේන්ටින් කරන්න මහින්ද අයියා ගාවට ගිහින් බල්ලෙකුටවත් ඇහෙන්නේ නැති ගානට  අහන්නේ

'ආනන්ද කිව්වට කාර් එක අවුරුද්දට කලින් ගන්න බැරිවෙයිද?' කියලා.

එතකොට මහින්ද අයියා කියන්නේ

"එයා නේ බොස්...' කියලා.

එතනින් එහාට කාටවත් කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වෙනුවට මගේ 'ගැඹුරු' සිතිවිලි වලට ඉඩක් එන නිශ්ශබ්දතාවක් පැතිරෙනවා, අර මගුල් ටීවී එකේ හරි රේඩියෝ එකේ හරි කච්කචේ නැත්තං... 



ඔස්ටින් එකක් ළඟට වෙලා ඉන්නකොට, එහා පැත්තෙන් අලුත් කාර් එකක් නැවැත්තුවාම මට අනිච්චේ දුක්කේ කියලා ගැඹුරු සිතිවිලි පහළ වෙන්න ගන්නවා. ඔස්ටින් එකේ එන්ජින් බේ එක ඇතුළට බල්ලෙකුට නෙමෙයි වස්සෙකුට වුණත් නගින්න පුළුවන්. ඒ තරම් ඉඩ තියනවා. අලුත් වාහනේක එන්ජිමක් ඇතුළට රිංගන කළු කූඹියෙකුට ඒකෙන් එළියට එන්න පාර හොයාගන්න යන කාලෙට වඩා ඉක්මනට අධ්‍යාපනයේ නිදහසට පක්ෂ දොස්තර කෙනෙක් හොයාගන්න පුළුවන්...

ඔය වගේ කතා කියවෙන්නේ ආනන්ද අයියා මට කන්න දෙන්නේ පත්තර කොළවල දාලා නිසා...

පේන්ටින් කරන මහින්ද අයියාගේ රනින් ජෝක් එකක් තියනවා. මිනිහා කියන්නේ මම පත්තර කොළවල තියන නිව්ස් බලලා කොයිවෙලේ හරි පළාත් සභා ඡන්දෙට ඉල්ලයි කියලා. නැවෙන්න පෙරළෙන්න ලෙවකන්න වගේම බුරන්න හපන්න හූරන්න දන්න ඕන බල්ලෙකුට පළාත් සභා ඡන්දෙට ඉල්ලන්න පුළුවන් කියලා කියන්න මට හිතෙනවා. ඒ වුණාට ඉස්සර බල්ලෝ වගේ හිටපු සමහරු දැන් උන්නු ගමන් අලුත් ලෑන්ඩ් කෲසර් අරං ගමේ උන්ට පෙන්න පෙන්න යන අතරේ ආනන්ද අයියගේ ගරාජ් එකට ගොඩවදින නිසා මට බුහ් භාෂිතයෙන් වත් ඕක කියන්න බයයි.

බලු බල්ලෝ වගේ නෙමෙයි මිනිස් බල්ලෝ. ඔය වගේ කතාවක් විහිළුවට වත් ඇහුණාම පළිගන්නවා කියලා පත්තරේ දැන්වීමුත් දාලා පළිගන්නේ.



ආපහු වාහන ගැන කතාවට එමු. නිකං මොකටද බලු කතා කියන්නේ! ඉස්සර ආනන්ද අයියගේ ගරාජ් එකට ආවේ අලුත් වාහන විතරයි. ඊට පස්සේ අර කාර් පිස්සුවද මොකක්ද ලබ්බක් කරනවා කියන හිපාටුවා පොස්සගන් එකක් ගෙනත් දැම්මා. ඊට පස්සේ මයිනරයක් ගෙනත් දැම්මා. ඊට පස්සේ ආයෙමත් අර පොස්සගන් එකද කොහෙද දැම්මා. TVS ත්‍රීවීලර් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නෑ කියලා බජාජ් ත්‍රීවීලර් ගන්න සණසෙන් ලෝන් ගහපු උන්ට මේවා දැකලා 'දිරුම් තිබ්බට කමක් නෑ; ටිකෙන් ටික හදාගෙන යන්න අඩුවට එකක් ගන්න' ඇම්ම ආවා. එහෙම එකෙක් දෙන්නෙක් චැසි බොල් වෙච්ච් ඒවා දෙකක් තුනක් ගෙනත් දැම්මට පස්සේ අර අක්කර පහේ හයේ ටෙන්ට් ගහගෙන යුරෝපියන් ඉටැලියන් බ්‍රිටිෂ් කාර් ඒවායේ දාගෙන ඉංග්‍රීසියෙන් කාර් රිස්ටෝර් කරන කීප දෙනෙකුටත් මෙතනට බාලගෝලයෙක් එවලා බලන්න හිතුණා.

අන්තිමට ගරාජ් එක ක්ලැසික් වුණා. ආනන්ද අයියා ඇන්ටික් වුණා. සුනිල් අංකල් වැනිෂ් වුණා.



සුනිල් අංකල් හිටියේ ටින්කරින් වලට. මම සුනිල් කාරයා ගේ නම ලිව්වේ වැනිෂ් වෙච්ච ඔක්කොම ටින්කරින් කාරයින්ගේ නම් ලියන්න ගත්තොත් මේක ආත්ම කථනයක් (බල්ලොත් බර වචන දන්නවා... ඇයි අවුල්ද?) නෙමෙයි ලංකාවේ විශ්ව විද්‍යාල වල කලා පීඨවල මහපොළ නම් ලැයිස්තුවක් වගේ වෙන නිසා (බල්ලොත් කැම්පස් ගැන දන්නවා. ගරාජ් එකේ ටීවී එක දවසට පැය 20 ක් විතර වැඩ. අර අන්තරේද ජල්තරේද බිත්තරේද මොකද්ද කියන උන් හැමදාම මිනිස්සු වැඩ ඇරිලා එන වෙලාවල උන්වත් නොදන්න හේතුවලට පාරට බහිනවා නේ). ටින්කරින් කාරයෝ වැනිෂ් වෙන්නේ හරියට කොත්තු බාස් ලා 'ගමේ ගිහින් ආවේ නෑ' වෙනවා වගේ (ලංකාවේ ජාතික ආහාරය නිසා මම කොත්තු ගැනත් යමක් කමක් දන්නවා. හැබැයි මම ඔය ජරාව කන්නේ නෑ).

මගේ නම ඔස්ටින් 'කළු' ආනන්ද... මෙහෙම තමයි නම ලියන හරි විදිහ. කියනකොට කියවෙන්නේ ඔස්ටින් කළුවානන්ද කියලා... ඒත් අර  යාං හෑල්ල ද මොකක්ද කරනවා කියන සුරංගම්ල්ර් වගේ 'වීල්ලෙක්කැපෙන්නෑ' වගේ කතා කියන්න මට හිත දෙන්නේ නෑ (යාං හෑල්ල ගැන දැනගත්තේ අර පොස්සගන් කාරයා දවසක් ගරාජ් එකේ ඉඳන් ඒකෙ ලිපියක් කියෙව්ව නිසා. කාර් පිස්සුවා වගේ යාං හෑල්ලත් පූසෝ කරේ තියං ඉන්න නිසා මට ඕකුන් දෙන්නම ෂුවර් නෑ).

ඉස්සර මගේ නම කළු විතරයි. ඒත් එක නමක් විතරක් තියනවා කියන එක ටික කාලයක් යද්දී මට මදිකමක් වගේ දැනෙන්න ගත්තා. මිනිස්සුන්ට වගේ ඉතිං 'නම් වෙනස් කිරීම' කෑල්ල ට දාලා 'පීචංගෙදර හඩු අපුල්ලන කුපාඩියලාගේ ෂවුත්තු පියදාස වන මම මෙතැන් සිට ධීරසිංහ මහාමුදලි අභීත රාජාධිරාජලාගේ උෂ්ලීශ් පුෂ්ධීර් රාජාධිරාජ ලෙස මාගේ නම සියලු කටයුතු සඳහා භාවිතා කරන බව මෙයින් සමස්ත ශ්‍රී ලංකාවාසීන්ටත් රජයටත් මගේ අනාගත මාමණ්ඩිය හා නැන්දම්මාටත් දැනුම් දී සිටිමි' වගේ ප්‍රසිද්ධ ප්‍රකාශ කරන්න ඕනේ නැති නිසා මම හිතුමනාපෙට සම්පූර්ණ නමක් දාගන්න හිතුවා. දැන් ඉන්න කොල්ලන්ගේ නම් බල්ලන්ට වත් උහුලන්න බැරි නිසා මම ගරාජ් එකේ වැඩියෙන්ම තියන කාර් ජාතියේ නම මුලටයි, මට කන්න දෙන එකාගේ නම අගටයි දාගත්තා. කන්න දෙන එකා මට දාපු නම මැදින් තියාගත්තා.

දැන් මම ඔස්ටින් 'කළු' ආනන්ද... 



නමකුත් දාගෙන කතාවක් ලියන්න පටන්ගත්තේ ඇත්තටම මම ගැන කතා කරනවට වඩා මම දකින දේවල් කියන්න හිතාගෙන. 'කළුවට කතා කරන්න පුළුවන් නම්' කියලා කාර් පිස්සුවා දෙතුන් පාරක් මහින්ද අයියට කියනවා මම අහගෙන. කළුවට ලියන්න පුළුවන් කියලා ඌ දන්නේ නෑ. දැන් මේක දැක්කම පොරට පුංචි කාලේ වටද්දර වෙලේ දැකපු කොක්කුත් සිහිවෙයි...

ගරාජ් එක කියන්නේ කතා ලෝකයක්. ෆේස්බුක් එකේ දරණ ගහගෙන ඉඳලා හරි බ්ලොග් ලෝකේ නෙළුම් විලේ මඩ නාලා හරි අහගන්න බැරි රස කතා සිය ගාණක් ගරාජ් එකකදී ඇස් පනාපිටම බලාගන්න පුළුවන් වෙනවා.

උදාහරණයක් හැටියට මට ඕනනං ගරාජ් එකට ආපු ඔස්ටින් සමර්සෙට් එක ගැන කතාකරන්න පුළුවන්. ඕකේ කතාව කොටස් කීපයකට බෙදලා මෙන්න මෙහෙම ලිව්වැකි.

1. ඔන්න ළඟදීම මෙහාට සමර්සෙට් එකක් එනවා හදන්න. 

සමර්සෙට් එක එනවා කියලා දැනගත්තු අලුත ආනන්ද අයියා කාර් පිස්සුවාට එහෙම කිව්වේ අලුත ගාපු කැටලොයි තලියක් වගේ ආඩම්බරෙන්. ඕක කියන වෙලාවේ තව දෙතුන් දෙනෙක් එතන හිටියා. පැය බාගයක් විතර යනකල් ගරාජ් එකේ වැඩ නැවතුණේ හරියට මිනිස්සුයි සත්තුයි කන්න නැතුව වේලෙන රටේ අඩි දාහක් විතර උස පිළිමයක් හදන්න ආධාර ඉල්ලගෙන පරණ ඩෙලිකා එකක් ආවම ගෙවල්වල ඉන්න ගෑනු පාන් ගන්න තිබ්බ රුපියල් හැට අරගෙන නම කියෝගන්න දුවනවා වගේ. අසූවට පස්සේ ඉපදිච්චි එවුන් දැන් කාලේ සමර්සෙට් සහ පොදුවේ ක්ලැසික් කාර් ජනප්‍රිය වෙලා තියන හැටි කතා කරනකොට අසූවට කලින් ඉපදිච්චි අය තමන්ගේ පොඩි කාලේ ඔස්ටින් මොරිස් පර්ජෝ හිල්මන් ඕපල් වාහන එක්ක බැඳුණු මතක ආවර්ජනය කරන්න ගත්තා.



සමහර වෙලාවට පිට බල්ලෝ මගෙන් අහනවා, උන් බල්ලෝ වගේ මං බල්ලත් අහුවෙන දෙයක් කාලා බෙට්ටක් ගහගෙන ඉන්නේ නැතුව මිනිස්සුන්ගේ පුස් කතා අහගෙන ඉන්නේ ඇයි කියලා. රබර් රවුම් හතරක් උඩ එහා මෙහා යන යකඩ ගොඩවල් මත්තේ මිනිස්සු මෙච්චර නහින්නේ ඇයි කියලා සමහර බල්ලන්ට තේරෙන්නේ නෑ. මාත් ඒ බල්ලන්ට ඕක පැහැදිලි කරන්න යන්නෙත් නෑ.

අනික් අතට ඕක පැහැදිලි කරන්න මට තේරෙන්නෙත් නෑ...


2. කොහොමද භාණ්ඩේ? යාපනෙන් ලු ගෙනාවේ...

මට තේරෙන හැටියට ඕනම ආප්ප තාච්චියක් යාපනෙන් ගෙනාවා කිව්වම කොට්ට කිලංගු අෆෙක්ට් එක වැදිලා 'වාව්' වෙනවා. එක පාරක් හොරණ ගුබ්බෑයමක් අස්සේ තිබිලා ගෙනාපු ඔස්ටින් A35 එකක් යාපනේ තිබිලා ගෙනාව කියලා එක තෙම්පරාදු මිස්ටර් ෆොක්ස් කෙනෙක් අලුතින් නාගන්න අත්පොත් තියන්න ගිය කොල්ලෙකුට විකුණන්න හැදුවා. මම අර කොල්ලගේ ඇඟට පැනල ඌව එලෝගත්තා. වෙලාවට මට ඉඦු ටෝක් දාලා මේච්චල් කරන්න ආනන්ද අයියා ගරාජ් එකේ හිටියේ නෑ. අර කොල්ලා පස්සේ එන්නං කියලා මාරු වුණා. නරියයි හාවයි දෙන්නම මට තාම බනිනනවා ඇති. ඒ වුණාට මම කරගත්තේ ලොකු පිනක් (හන්දියේ පන්සලේ හැමදාම ඒරියා එක දෙවනත් වෙන්න පිරිත්/කවි බණ/බෝධි පූජා/ධර්ම දේශනා/දේශපාලන දේශනා දාන නිසා මමත් දැන් පින් පවු සහ කරුම ගැන ටිකක් දන්නවා). 

සමර්සෙට් එකත් යාපනෙන් ගෙනාව කියලා තමයි කිව්වේ. ඒක වෘෂණ කෝෂ උගස් තියන්න වෙන ප්‍රොජෙක්ට් එකක් කියලා මාත් ඇතුළුව ඕන බල්ලෙකුට තේරෙනවා. ඒත් හැමෝම හැසිරුණේ ඒක නොදන්නවා වගේ. යාපනෙන් නේ ගෙනල්ලා තියෙන්නේ!




3. අදත් ඉතිං වැඩක් කෙරුණේ නෑ. ටින්කර් ආවේ නෑ නේ...

සතියක් වැඩකරන ටින්කර් කාරයා ඊට පස්සේ පොල්ලෙලිගංකඩවලතැන්නේ ඉන්න පුංචි අම්මා ගේ දුවගේ දුව ලොකු ළමයෙක් වෙලා ඒකට ගිහිං එන්නං කියලා යන්න යනවා. ඊට පස්සේ උගේ පුංචි අම්මගේ දුවගේ දුව ඇවිත් ටින්කරින් කළොත් මිසක් ඌව නම් ආයේ කල්ප නහුතෙකට හොයන්න වෙන්නේ නෑ. අන්තිමට එලෝලු තෙල් නැති දාට චාරුනී අක්කගේ කඩෙන් ගන්න මුඩු පොල්තෙල් කාල වගේ ඉතුරු වෙන්නේ චන්දරේ විතරයි.

මිනිස්සු අනික් මිනිස්සුන්ට බනින්නේ සල්ලි පස්සේ දුවනවා කියලා. ඒ වුණාට හොඳට සල්ලි පස්සේ දුවන්න පුළුවන් ටින්කරින් කාරයෝ හොඳට වැඩ කරගෙන ඉන්න තැන දාලා යන්න යන්නේ ඇයි කියලා මගේ බලු මොළේට තේරෙන්නේ නෑ. මම මුලින් හිතුවා උන් ඊට වඩා හොඳ තැනකට යනවා ඇති කියලා. ඒ වුණාට මාස හත අටකින් පස්සේ සමහර එවුන් ගරාජ් එකෙන් ඇඳන් යද්දී ඇඳන් ගිය ටී ෂර්ට් එකම ඇඳගෙන ආපහු වැඩ කරන්න චාන්ස් එකක් ඉල්ලගෙන ආනන්ද අයියා ගාවට එනවා. ආනන්ද අයියත් චන්දරේගේ මිටි පාරවල් උහුලන්න බැරුව 'හා ඇවිත් වැඩ කරපං හැබැයි ආයේ කොටහළු මගුල් වල යන්න බෑ' කියලා වැඩ කරන්න දෙනවා. ඒ වුණාට ආයේ මාස දෙක තුනකින් කොහේ හරි ඩොටක ඉන්න කවුරු හරි දැරිවියෙක් මල්වර වෙනවා... 




4. හූරලා බලද්දී පැත්තම ගිහිල්ලා. මේක නම් ඉවර කරන්න තව මාස තුනක් විතර යයි... 

දැන් ඔන්න ඇවිල්ලා ඉන්නේ ඌරුමීයාට බ්ලොක් ගලෙන් ගැහුවා වගේ යථාර්ථය කියන එක චොකොස් ගාලා ඔළුවට කඩාවැටෙන අදියරට. වාහනේ ටික ටික තහඩුවට හූරගෙන යනකොට දශක ගාණක් තිස්සේ එක එක වල් බල්ලෝ, බලු බල්ලෝ, දඩ බල්ලෝ, නරි බල්ලෝ සහ %* බල්ලෝ කරපු ටින්කරින් වැඩවල බලුකම් එළිවෙන්න ගන්නවා. කන්ද උඩ ගෙදර හාරපු ලිඳ වගේ තියන වළවල් වලට කන්ද උඩ ගෙදර ළමිස්සී දාන මේකප් ගොඩ වගේ කැටලොයි දාලා වහලා තියන එව්වා, සුද්දා වියතෙන් වියතට ඇන තියලා සෙට් කරලා එවන පැනල් වලට ලංකාවේ එවුන් කිලෝමීටරෙන් කිලෝමීටරේට යකඩ කෑලි පාස්සලා තියන එව්වා, කළු පාට උඩින් කහ පාට උඩින් දුඹුරු පාට උඩින් නිල් පාට උඩින් කොළ පාට උඩින් රතු පාට උඩින් දම් පාට උඩින් රෝස පාට උඩින් ආපහු නිල් පාට ගාපු එවුවා වගේ සීන් ගොඩක් ඔය වෙලාවට එළිවෙන්න ගන්නවා. එතකොට තමයි ටින්කර් කාරයා වගේම ආනන්ද අයියත් බල්ලෙකුට අහං ඉන්න බැරි වංග දේසේ බාසාවකින් අතීත ටින්කරින් ප්‍රජාවේ සාමාජිකයන්ගේ මවුවරු ගැන කතාකරන්න ගන්නේ. 

ඊට පස්සේ අර මාස තුනේ ඩෙඩ් ලයින් එක මේ ලේන් එකේ බලු ගැන්සියට මුලිච්චි වෙච්චි පිට ලේන් එකේ බල්ලෙක් වගේ නොදන්න ගානට නැට්ට අසවල් ස්ථානයේ ගහගෙන ඈතට ඈතට ඈතට ඈතට යන්න ගන්නවා.




5. ටින්කරින් ටික නම් යාන්තං ඉවරයි. කෝ මේ පේන්ටර් කාරයා හරියකට එන්නේ නෑ නේ...

හතරවෙනි අදියරෙන් අවුරුදු එකහමාරකට විතර පස්සේ තමයි ලැකර් ගඳ මිශ්‍ර සැනසුම් සුසුමක් එක්ක කතාවේ මේ පරිච්ඡේදේ පටන්ගන්නේ. 

පේන්ට් කරන සැට් එක සාමාන්‍යයෙන් ටින්කරින් කරන එවුන්ට වඩා ඔලුව පාවිච්චි කරනවා. පේන්ට් කරන වැඩේ සාපේක්ෂව ඉක්මන් නිසා පිට වැඩ ටක් ගාලා අරන් ටක් ගාලා කරන එක අමාරු නැහැ. ඒ නිසා පේන්ටර් පිටින් බාරගත්තු ප්‍රොජෙක්ට් එක ඉවර වෙලා එනකල් ඉන්න සිද්ධ වෙනවා. මේ දවස් වල සමර්සෙට් එකේ යන්නේ ඒ ස්ටේජ් එක. 



මොනවා වුණත් දැන් නම් සමර්සෙට් එක දකිනකොට මට හිතෙනවා ඒක කාලයක් ඔළුව උස්සන් ඉන්න වාසනාව ලැබෙන කාර් එකක් වේවි කියලා. හැබැයි මොන බල්ලෙකුට වත් අනාගතේ ගැන කියන්න බෑ. මේ දවස් වල මම පුළුවන් වෙලාවට සමර්සෙට් එක යටට වෙලා ගැඹුරු සිතිවිලි වල කිමිදෙනවා. පරණ පේන්ට් හීරිලා, ඔරිජිනල් කාපට් රෙදි අයින් වෙලා, වෙල්ඩින් පුපුරු වලට පිච්චිලා, අලුත් තහඩු ෂීට් වැදිලා සහ කැළණි ටයර් පුපුරලා තියන නිසා දැන් සමර්සෙට් එක යට ඒක ගෙනාපු දවස් වල තිබ්බ පරණ කාර් සුවඳ නෑ. දැන් ඒකෙන් එන්නේ නිකං වැස්සට ගේ අස්සේ ගුලිවුණු ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙක් ගාවින් එනවා වගේ ගඳක්.

ඔය විදිහට තව ගොඩක් දේවල් මම දකිනවා. සමහර ඒවාට බලු සංසාරෙත් එපා වෙනවා. මේ ලඟදී කොල්ලෙක් මරු හැච්බැක් එකක් එළවන් ආවා. රෝද දෙකේ පොඩි ඇදයක් තිබිලා බලාගන්න තමයි ගෙනාවේ. ළඟදී ගත්තේ කිවුවා. පණ්ඩිත කමට තනියම ගිහිං හොඳ ගානක් ගෙවලා අරගෙන ඇවිත්. ඇදේ අරින්න බලද්දී චැසියෙන්ම ඇදේ තිබ්බේ. බැලින්නං වාහනේ ඉස්සර කවදාක හරි රිඹ යන්න ඇක්සිඩන්ට් වෙලා තිබිලා. හදන එවුන් හදලා තියෙන්නේ බල්ලෝ බත් කන්නේ නැති වෙන්න. 

ඔය කතාව ආනන්ද අයියගේ කටින් අහපු වෙලාවේ අර කොල්ලගේ මූණ කළු වුණේ හරියට කළුතර කොළඹ ඒසී බස් එකක සයිලන්සරේ ගාවට සෙට් වෙච්චි පුස් බයිසිකල් කාරයෙක් වගේ. ඒක දරාගන්න බැරුව මම අර ලොරියක පටවන් එන්නේ නැතුව හිතක් පපුවක් නැතුව පාර දිගේ ඇදගෙන ඇවිත් ගරාජ් එකට දාපු බේබි ඔස්ටින් එක යටට ගිහින් පැය එකහමාරක් නිදා ගත්තා. 



ඊට පස්සේ මේ ළඟදී එකෙක් ආවා, අර 'මහත්තයෝ සල්ලි එපා, කෑම එකක් අරං දෙන්න' කියලා රුපියල් පහ දහය වෙනුවෙනට සීය හමාර කොටාගන්න එන්න ටයිප් එකේ වෘත්තීය හිඟන්නෙක් වගේ එකෙක්. මම ඕකුන්ගේ බලුකම් දන්න නිසා බුරාගෙන පැන්නා. ආනන්ද අයියා කෑගහලා මාව නැවැත්තුවා. තොට ඉල්ලං කන්න ඕන නම් මට මොකද කියලා මාත් නිකා හිටියා. 

ඊට පස්සේ වෙච්චි දේ නාට්ටියක් වගේ මෙහෙම ලියන්නං. (ලංකාවේ නාට්ටි ලියන එවුන්ට වඩා මේ බල්ලෙක් වෙච්චි මට හොඳට ලියන්න පුළුවන්).

හිඟන්නා: "අනේ මහත්තයෝ, මට පොඩි ආධාරයක් කරන්න පුළුවන්ද?"

ආනන්ද අයියා: "ඔය අතපය හතර හොඳට තියෙන්නේ. රස්සාවක් කරලා කනවකෝ"

(මඳ නිහැඬියාවක්. හිඟන්නා වාහන දෙස බලා හිඳී) 

හිඟන්නා: "පරණ වාහන ගොඩක් තියනවා නේද?" 

ආනන්ද අයියා: "ගරාජ් එකක් නේ ඕයි මේක..." 

හිඟන්නා: "මේ තියෙන්නේ ඔස්ටින් එකක් නේද?" 

ආනන්ද අයියා: "තමුසේ වාහන ගැන දන්නවද?" 

හිඟන්නා: "මේවට පාට්ස් ඕන නම් කියන්න. අහවල් පැත්තේ කෙනෙක් ඉන්නවා. එයා ගාව පාට්ස් තියනවා. මම අරං දෙන්නං අඩුවට." 

ආනන්ද අයියා: "ඔය කියන හාදය ගාව බඩු ගිනි ගණන් නේ.." 

හිඟන්නා: "මට එහෙම ගණන් කියන්නේ නෑ. මම ඉස්සර ටින්කරින් වැඩ තමා කළේ. ඒ නිසා එයා හිතවත්." 

ආනන්ද අයියා: "තමුසේ ඉස්සර ටින්කරින් වැඩ කළා නම් දැන් කරන්නේ නැත්තේ ඇයි?" 

හිඟන්නා: "කවුරුවත් වැඩ දෙන්නේ නෑ මහත්තයා..." 

ආනන්ද අයියා: "තමුසේ බොනවා ඇති..."

හිඟන්නා: "බොනවා නම් කන්න සල්ලි ඉල්ලන්නේ නෑ මහත්තයා. බලන්න මගේ ඇඟේ හැටි..." 

ආනන්ද අයියා: "මං කියන්නං... තමුසේ හෙට එනවා ගරාජ් එක පැත්තේ. මෙන්න මේ රුපියල් සීය අරං ගිහිං බත් එකක් ගන්නවා. අර හන්දියේ කඩයක් තියනවා සීයට බත් තියන. කාලා හෙට උදෙන්ම එනවා, තමුසෙට වැඩ පුළුවන්ද කියලා බලන්න..." 

හිඟන්නා: "හොඳමයි මහත්තයා..." 

'හිටපු-ටින්කර්' හිඟන්නා මහතා සල්ලි අරගෙන යන්න ගියා. මම නැට්ටෙනුත් හිනා වෙවී බලං හිටියා... 

දැන් මේ සිද්ධිය වෙලා සති හතරක් විතර ඇති... 

ආනන්ද අයියා තාමත් ටින්කරින් කාරයෙක් නැතුව වේලෙනවා...




මේවා දකිනකොට මට බල්ලෙක් වෙච්චි එක ගැන සතුටුයි. හැබැයි සමහර වෙලාවට නම් වාහන ගොඩ යනවා දැකලා මිනිස්සු සතුටු වෙන හැටි දකිනකොට මට ආසත් හිතෙනවා. හොඳ උදාහරණෙ තමයි ආනන්ද අයියා ගෙනාපු පර්ජෝ 504 එක. ඒක ගේනකොට හැළුණු මලකඩ දැකලා වැයික්කියේ බල්ලොත් ගිහිං හැංගුණා, පිටගැස්ම හැදෙයි කියලා. කාර් පිස්සුවා පවා ඇවිත් ඕකට දෙතුන් පාරක් දබරැඟිල්ලෙන් කොටලා කිව්වා 'වඩුවගේ ගෙදර පුටුව නෑ කියලා අහලා තියනවා, ඒ වුණාට ගරාජ් කාරයාගේ කඳ උඩ මොළේ නෑ කියලා අහලා නෑ' කියලා. 


ඒ වුණාට ආනන්ද අයියා නිකං කාර්මික අපද්‍රව්‍ය එකතු කරලා කූඩුවක් හදන නාගරික කපුටෙක් වගේ හොටෙන් ඇන ඇන ඕක හැදුවා. තව ටික දවසකින් ඕක පාරට දාවි. සමහර වෙලාවට කවුරුත් නැති වෙලාවල්වලට පොර ඕක දිහා බලාගෙන තනියම කල්පනා ලෝකෙකට වැටෙනවා. ඒ වෙලාවට පොරගේ මූණයි තට්ටෙයි රින්සෝ දාලා හෝදලා උදේ අවුවේ වේළලා ස්මාර්ට්ෆෝන් එකක ෆ්ලෑෂ් ලයිට් එකක් ගැහුවා වගේ සුදෝ සුදුවට එළිය වැටෙනවා (ස්මාර්ට්ෆෝන් ගැන දන්නේ කාර් පිස්සුවා උන්නු ගමන් උගේ කබල් ෆෝන් එක මගේ දිහාටත් අල්ලන නිසා. මං දවසක් පොරගේ පූස් පැටියා පස්සේ පැන්නුව කියල පොර මා එක්ක තරහ වෙලා හිටියේ. ඒ වුණාට පොර දවසක් මයිනරේ ඉඳන් බෙන්ස් එකක් ෆොටෝ ගහද්දී මම කාර් එකට අත්දෙක තියලා ජනේලෙන් එබිලා කූක් කූක් පාරක් දාලා පොරව ෂේප් කරගත්තා. මොකද මොනවා වුණත් මගේ ඇඟේ තුවාලයක් එහෙම දැක්කොත් පොර ආනන්ද අයියට කන්කෙඳිරි ගානවා, කළුවට බේත් ටිකක් අරන් දීපන් කියලා). 



'ඉන්නේ වැඩපොළේ ඔස්ටින් එකක් යට- කන්නේ කුකුල් කටු හඩු සම්බා බතට' වගේ කවි කෑල්ලක් දාලා පොඩි එකාගේ රචනාව වගේ මට මේක ඉවර කරන්න පුළුවන්. ඒ වුණාට මම දැකලා තියන අහලා තියන සමහර දේවල් කල්පනා වෙනකොට මට ඔය වගේ පහේ සිස්සත්ත පාට් දාන්න හිතෙන්නේ නෑ... 

කාර් පිස්සුවා දවසක් එකෙකුට ඇනෙන්න වගේ කිව්වා 'කාර් වල යන්න ඕන බල්ලෙකුට පුළුවන්, ඒ වුණාට කාර් වලට ආදරේ කරන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි' කියලා. 

ඒක ඇත්ත. මම බල්ලෙක් නිසා මට කාර් වලට ආදරේ හිතෙන්නේ නැහැ. ඒත් කාර් වලට බොක්කෙන් ආදරේ කරන මිනිස්සුන්ගේ හිත්වල කාර් වලට ආදරේ නොකරන මිනිස්සුන්ට වඩා තෙතක් තියනවා කියලා මට හිතෙනවා. 

කවදාහරි මිනිස් ආත්මයක් ලැබුණොත් මම ඔස්ටින් කේම්බ්‍රිජ් එකකුයි, ෆොක්ස්වැගන් බීට්ල් එකකුයි, පර්ජෝ 504 එකකුයි ගන්නවා.

හැබැයි එක බල්ලෙකුට ඒවා අල්ලන්න දෙන්නේ නෑ. මොකද ගරාජ් එකේදී දැකපුවා අහපුවා මට ආත්ම හතක් විතර යනකල් මතක තියේවි... 

මීට හිතවත්, 
ඔස්ටින් 'කළු' ආනන්ද 


 














සැ.යු.: මේ ඇතැම් කතා මගේ බලු මොළයෙන් මවාගත් මනස්ගාත (සොරි... මනඃකල්පිත) කතා විය හැක.
www.facebook.com/CarPissuwa