Friday, July 14, 2017

ස්ප්ලිට් බස්, රැග්ටොප්, ට්‍රෙකර් සහ වෙනත් සත්තු (World Volkswagen Day 2017)



දෙහිවල ඉවර වෙන්න කිට්ටු වෙද්දී විලියම් එක පේන මානෙන් වමට දාලා Marine Drive එකට දානවා කියන එක හරියට අපායේ ලෝදිය බාත් ටබ් එක පේන මානෙන් වමට දාලා දිව්‍ය ලෝකෙට හරවනවා වගේ අත්දැකීමක්.... 

මට මතක ඇති කාලෙක ඉඳන් වැල්ලවත්තේ ඉඳන් දෙහිවල හන්දිය පහුවෙනකල් ගාලු පාර - හරියටම කියනවා නං විලියම් හන්දියයි දෙහිවල හන්දියයි අතර පාර - ට්‍රැෆික් පිරුණු, වළවල් පිරුණු, ත්‍රීවීලර් පිරුණු, බස් පිරුණු, බාප්පලා පිරුණු පාරක්. වැඩ ඇරෙන වෙලාවක (හෝ වැඩට යන වෙලාවක) බස් පණුවෙක් එළවන ලේලන්ඩ් කට්ටක හිරවෙලා ඔය ටික පහු කරනවා කියන එක හරියට පැලුණු රබානක හරක් හම කනවා වගේ අප්‍රසන්න අත්දැකීමක් කියලයි මට හිතුණේ. ඊට පස්සේ කාලෙක වාහන එළවගෙන ඒ පැත්තේ යන එනකොටත් ඒ රබන් කට්ට එහෙමම කන්න සිද්ධ වුණා. අදටත් ඒ කුණු රහ එහෙමමයි.ඒ නිසා කොළඹ යනකොට Marine Drive එකට හරවන්නේ කොයි වෙලාවෙද කියලා බලබලා තමයි යන්නේ. 

විලියම් හන්දිය, ඉරිදා උදෙක වැල්ලවත්ත පැත්තේ ඉඳන් යනකොට පේන හැටි

පහුගිය ජූලි 9 වෙනිදා උදෙත් අපි දෙහිවල හරිය පහුකළේ ඒ සිතිවිල්ලෙන්මයි. උදේ පාන්දර මොරටු අහසේ පෝර දාපු අලුකෙසෙල් පාටට කළුවක් මෝදු වෙලා තිබ්බට දෙහිවල අහස නම් පොලීතීන් පුච්චනකොට නගින දුමට සමාන පාටකට තිබ්බා. 

Marine Drive එකේ වැල්ලවත්තට කිට්ටු වෙනකොට තමයි අහස අහසේ ඉඳන් අත දික්කරලා 'ඉඳා කාපිය' කියලා අපට අලුකෙසෙල් කවන්න ගත්තේ. මගේ ප්‍රථම ප්‍රේමය long distance relationship එකක් වෙලා ඊට පස්සේ මකන්න බැරි ඊමේල් එකතුවක් සහ පුච්චන්න බැරි කාඩ් එකතුවක් වෙන්න ඔන්න මෙන්න තිබ්බ එක්තරා දුරාතීතෙක වත්තල හරියේදී අහුවුණු අනෝරා වැස්සට පස්සේ මතක ඇති කාලෙකින් එහෙම වැස්සකට අහුවෙලා තිබුණේ නැහැ. උදේ පාන්දර කාර් ෂැම්පු දාලා, ඉන්ටීරියර් ක්ලීනර් දාලා, වින්ඩෝ ක්ලීනර් දාලා, ටයර් පොලිෂ් දාලා, කිරිබත හැඩ කරනවා වගේ සීරුමාරුවට තෙත මාත්තු කරලා එළියට දාපු 9 ශ්‍රී 5333 අර කොළඹ හද්ද ජරහන්ත අහස හෝදාගෙන එන ලුණු මිශ්‍ර ඇසිඩ් වතුරට රිඹ යන්න නෑවෙන්න ගත්තා. 

මමයි කෞශියි දුක තදකරන් මහමෙර තරන් වයිපර් දමන් හෙමිහෙමිහෙමින් ඉදිරියටම ඇදුණා. 

බම්බලපිටිය පහුකරලා කොල්ලුපිටිය පැත්තට යද්දී අහස 'දැන් තෝ අලුකෙහෙල් කෑවා ඇති' කියලා ඉතුරු වැහිබින්දු ටික අරන් පොකැට් එකේ දාගත්තා. අපි නිරිතදිග මෝසම් වැස්සේ ලේන්නු අල්ලන්න ගිහින් පොල් ගහෙන් ගලන වතුරට අහුවෙලා කැට් ප්‍රයිඩ් එක ෆ්ලකෑෂ් වෙච්ච පූස් පැටවු වගේ ආපහු ගාලු පාරට දාලා පාගලා ගිහින් ගෝල්ෆේස් හෝටලේ ගේට්ටුවෙන් ඇතුළට හැරෙව්වා. 


වෙනදට උදේ හතයි තිහට එන්න කිව්වම දහයට වත් නොඑන මිනිස්සු අද හතයි කාල වෙද්දී ඇවිල්ලා. ගෝල්ෆේස් හෝටලේ කාර් පාක් එක රතු පාට නිල් පාට කොළ පාට කහ පාට සුදු පාට දම් පාට රෝස පාට තැඹිලි පාට ගෝල්ඩ් පාට සිල්වර් පාට කාකි පාට කළු පාට අළු පාට යකඩ පාට මලකඩ පාට ගින්දර පාට කොස් පාට දෙල් පාට පොළොස් පාට වගේම නම නොදන්න පාට සහ නම කියාගන්න බැරි පාට වලින් හැඩවුණු බීට්ල් යායකින් වැහිලා ගිහිං. ඒ අතර ඉඳහිට වතුසුද්ද මල් යාය මැද්දෙන් හංගාගත්තු ආඩම්බරෙන් ඔලුව උස්සපු ඇන්තූරියම් මල් වගේ කාමන් ගියා එකක් දෙකක් සහ වේරියන්ට් එකක් දෙකක් එක්ක ස්ප්ලිට් බස් එකක් සහ ට්‍රෙකර් එකකුත් තිබ්බා. 



එදා එතන තිබුණේ VW Beetle Owners' Club එක සංවිධානය කරපු World Volkswagen Day රැලිය විතරක් නෙමෙයි. ලංකාවේ කාර් ක්ලබ් එකකින් පළවෙනි වතාවට ක්ලැසික් කාර් එකක් තෑගි දෙන raffle එකේ දිනුම් ඇදීමත් එදා තමයි කරන්න නියමිත වෙලා තිබුණේ. ඉතිං ටිකට් ගත්තු සහ ටිකට් ගන්න හිතපු අය සෑහෙන පිරිසක් ඇවිල්ලා හිටියා. ඒ නිසා වෙනදා දකින, ඒත් එහෙමට ඇයි හොඳයියක් නැති පළපුරුදු මූණු ටික වෙනුවට මෙදා VW event එකක් උපන්තේකට දැකලා නැති මූණු ටිකකුත් ගෝල්ෆේස් හෝටලේට පායලා තිබ්බා. 

තෑග්ග විදිහට දීපු කාර් එක. මේක තියලා තිබ්බේ ගල්කිස්ස හෝටලේ

9 ශ්‍රී 5333 නවත්තලා වාහනෙන් බැහැලා හැරෙන්නත් කලින් ඇවිල්ලා අපිව පිළිගත්තේ ආසිරි ඇල්ලගේ. ආසිරි කියන විදිහට එයා ඉස්සර එපා වෙලා පැත්තකට දාලා තිබ්බ බීට්ල් එක හදන්න ඕනේ කියන සිතිවිල්ල ඇවිල්ලා තියෙන්නේ කාර් පිස්සුවෙ පාහියංගල ලිපිය කියෙව්වට පස්සේ ලු. ඒක ඇත්තද කියන්න මම දන්නේ නැහැ. හැබැයි එදා එහෙම පැත්තත දාලා තිබුණු කාර් එක දැන් ෆැක්ටරියෙන් ගත්තු දවසේ වගේ ලස්සනට තියනවා ඉස්සරලම දැක්කම මගේ හිතට දැනුණේ Big Bang Theory එකේ Penny ව ඇත්තට දැක්කා වගේ විස්මය, සතුට, ආදරය, ආශාව හා ශෘංගාරය මිශ්‍ර හැඟීමක්! 

ඔය සුදට හුරු පාටකට තියෙන්නේ ඇල්ලේගේ කාර් එක

එදා ඇත්තටම වැඩි දෙනෙක්ගේ අවධානය යොමුවෙලා තිබුණේ දොස්තර ශ්‍රීලාල් මහත්මයාගේ EN ස්ප්ලිට් බස් එකට. ලංකාවේ ඉස්සරහ වීදුරුව දෙකට බෙදුණු ෆොක්ස්වැගන් වෑන් (මේවට සාමාන්‍ය එයාර් කූල්ඩ් ව්‍යවහාරේදී ඇමරිකානුවෝ කියන්නේ 'බස්' කියලා. එංගලන්තේ හාදයෝ කියන්නේ 'කෑම්පර්' කියලා) හරිම අඩුයි. ඉඳලා හිටලා හබරල ගාලක් ළඟ අවුරුදු තිහක් විතර අතඇරලා දාලා තිබුණු, යකඩ දැදුරු කරගෙන මලකඩ මල් යායවල් පිටින් පිපුණු බස් වලට පවා බ්‍රෝකර් ලා ජර්මනියම සල්ලිවලට ගන්න පුළුවන් තරමේ ගණන් කියන නිසා අපි වගේ ගොඩක් දෙනෙකුට ඒවා හීන විතරයි. ඔහොම එකක් ගොඩ ගත්තොත් ඉතිං දොස්තර මහත්තයෙක්ම තමා! 





ඊට අමතරව සුපුරුදු විදිහට පීටර් ජාසිංහ මහත්මයාගේ ස්ප්ලිට් බීට්ල් එක, කපිල ජයවර්ධන මහත්මයාගේ ට්‍රෙකර් එක සහ දිනේෂ් මහත්මයාගේ Left hand drive ragtop එක එහෙමත් ගොඩක් දෙනෙක්ගේ වායු-සිසිලන ලාලසාව ඇවිස්සුවා. ඊට අමතරව තව ඔරිජිනල් convertible කියල විස්වාස කරන්න බැරි ඔරිජිනල් convertible එකක්, පිට ගේකට ආපු කුලෑටි දැරිවියෝ දෙන්නෙක් වගේ හැංගුණු ගොල්ෆ් දෙකක් සහ 'යකෝ කවුරුවත් මා දිහා බලන්නේ නැත්තේ ඇයි' කියලා හිතහිතා හිටපු වේරියන්ට් එකකුත් එතන තිබුණා. 






සුපුරුදු විදිහට තේ පානයෙන් පස්සේ අපි ගල්කිස්සේ හෝටලේට යන්න පිටත් වුණා. Volkswagen Day ඉවෙන්ට් එකේ සුන්දරම අත්දැකීම තමයි මේ ඩ්‍රයිව් එක. ඉරිදා උදේ ගාලු පාර දෙපැත්තේ උස ගොඩනැගිලි වල හැප්පිලා දෝංකාර දෙන ජර්මානු යකඩ විසිල් ගීතිකා කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල සහ ගල්කිස්ස වසාගෙන පැතිරෙනවා. පාර දෙපැත්තේ ඉන්න අයගෙන් ලැබෙන්නේ අතීතකාමය සහ අනාගත බලාපොරොත්තු මුසුවුණු අපූරු බැල්මවල්. ඔය අතරේ උන්නු ගමන් තමන්ගේ තුනී යකඩ වාහන ගැන හීනමානයක් ආපු රියදුරෙක් දෙන්නෙක් එහෙන් මෙහෙන් වෙට්ටු දාන්න ගන්නවා. 





මෙතනදී එක දෙයක් විශේෂයෙන් කියන්න ඕනේ. බීට්ල් ටික යන්නේ පෙරහැරක් විදිහට නෙමෙයි. ඔය එක පේළියට වගේ පෙන්නේ ගමන ආරම්භ කරපු ස්ථානය ආසන්නයේදී විතරයි. පාරේ අනික් වාහන වලට බාධා නොවෙන්න ගමන යන එක අපි හැමෝම බොහොම දැනුවත්ව කරන දෙයක්. මෙතෙක් මම සහභාගී වුණු කිසිම ඉවෙන්ට් එකකදී පොලීසියේ සහයෝගය ඇතුව අර බයිසිකල් රේස් වගේ පාර වහගෙන බීට්ල් රැලි ගිහිල්ලා නැහැ. ෆොක්ස්වැගන් ටික lane discipline ඇතුව යද්දී වෙන වාහන පදින සමහරු මංතීරු නීතිය අතට අරගෙන වනවනා යන හැටි එදාට බොහොම පැහැදිලිව දැකගන්න පුළුවන් (මේ කාරණාව පැහැදිලි වුණාම තනියම පුෂ්ප විකසිත කරගන්න පිරිසකුත් ඉන්නවා. ඉස්සරහට එයාලව කනෙන් පෙන්නන්න මට පුළුවන් වේවි).

බොහොම කෙටි වෙලාවක් ඇතුළත ගල්කිස්ස හෝටලෙත් ඉබ්බන්ගේ ග්‍රහණයට නතු වුණා. එතනට ආවට පස්සේ හැමෝගෙම වගේ හිතේ තිබ්බේ දිනුම් අදින බීට්ල් එක කාට ඇදෙයිද කියන එකෙයි. ඉවෙන්ට් එකේ ඉතිරි වැඩ කටයුතු ටික කෙරුණේ ගල්කිස්ස හෝටලේ Regency hall එකේ. වෙනදා ඇතිවෙන්න ආසන පහසුකම් තිබුණත් මෙදා පාර හිටපු ජන ගංගාවේ හැටියට සැලකිය යුතු පිරිසකට හිටගෙන ඉන්නත් වුණා. ඒ වගේම දෙමව්පියෝ සෙට් එකක් සෑහෙන ගේමක් දීලා කොක්කුන්ගෙන් ඉල්ලගෙන හෝ රෝස කැලෙන් ඇහිඳගෙන ගෙනාපු ළමයි සෙට් එකක් බුවෑව් බුවෑව් බ්රූම් බ්රූම් හූ හූ අම්ම්ම්ම් ම්ම්ම් ම්ම්ම්ම්ම්ම් මාආආ තාච්ච්ච්ච්චී ආච්චි පෝච්චි චූ ගගා ශාලාව පුරා දුවපු නිසා කවුරුවත් කියපු කිසි දෙයක් හරියට ඇහුණේ නැහැ. 




කොහොමහරි අන්තිමට ඉවෙන්ට් එකේ ප්‍රධාන අරමුණ වුණු raffle එක දිනුම් ඇදීම වෙනකොට නම් හදවත පැසිපන්දු ගහන්න පටන් ගත්තා. ජයග්‍රහකයාගේ නම හැටියට මගේ නම හෝ කෞශිගේ නම කියවෙයි කියලා බලාගෙන හිටියත් කියවුණේ වෙන නමක් කියලා අර පැටිපස් පරාණේ විලාපය මැද්දෙන් ලාවට ඇහුණා (ගෝසාව කොච්චරද කියනවා නං සහ දුක කොච්චරද කියනවා නං ඒ වෙලාවේ හෝ, පස්සේ ජයග්‍රාහකයා හමුවෙලා සුබපතපු වෙලාවේ හෝ නම අහගන්න බැරි වුණා. පස්සේ ඩේවිඩ් ජැන්සේ තමයි මට නම තහවුරු කරලා දුන්නේ). 

Raffle එකෙන් 1 ශ්‍රී ඔරිජිනල් බීට්ල් එකක් දිනාගත්ත වාසනාවන්තයා වුණේ දමිත්‍ර ජයසූරිය. එයා ඒ වෙලාවේ එතන හිටියේ නැහැ. ක්ලබ් එකෙන් කෝල් එකක් දුන්නම විනාඩි විස්සෙන් එනවා කියපු මනුස්සයා විනාඩි දහයක් යද්දී ගල්කිස්ස හෝටලේට ආවා. දමිත්‍ර මම වගේ  සතුටට උඩ පැනලා සතුට ලෝකෙට පෙන්නන ජාතියේ කෙනෙක් නොවන බව බැලුබැල්මට පෙනුණත් එයා හිටියේ කොයිතරම් සතුටකින්ද කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය වුණේ නැහැ. 





උත්සවේ ඉවර වුණාට පස්සේ මට තවත් ජෙනුයින් බීට්ල් පිස්සෙක් වුණු, කාර් පිස්සුවෙ ෆේස්බුක් පේජ් එක හරහා අඳුන ගත්තු අනුරාධ බමුණුකුලවත් හම්බවුණා. අනුරාධ ගැන මම දැන්ම වැඩි විස්තර කියන්නේ නැහැ, මොකද අනුරාධගේ කාර් එක දොරට වැඩියාම අපට ඊට වඩා කතාකරන්න දේවල් තියේවි කියලා මට හිතෙනවා.

අන්තිමට දමිත්‍ර ජයසූරියට සුබපතලා එයාගේ ෆොටෝ එකක් අරගෙන, එළියේ කහ කිරිල්ලිත් එක්ක හිටපු ප්‍රේමතිලක බාසුන්නැහැ සහ එයාගේ බෑණා සමීරටත් කතා කරලා එළියට ආපු අපි එහෙමම ආපහු කොළඹ පැත්තට හරෝලා BMICH එකට ගිහින් Thailand Week ප්‍රදර්ශනෙත් බලලා තමයි ගෙදර ගියේ. 




World Volkswagen Day 2017 ඉවෙන්ට් එක තමයි 9 ශ්‍රී 5333 සහභාගී වුණු 5 වෙනි බීට්ල් ඉවෙන්ට් එක. මීට අවුරුදු 4 කට විතර කලින් මේක විකුණන මොහොතේදී මේකේ කලින් අයිතිකාරයා වුණු සරත් කුමාර මහත්මයා කීයටවත් හිතන්න නැතුව ඇති එයා ගාව ප්‍රවාහන මාධ්‍යයක් විදිහට තිබුණු, එයාගේ දරුවන්ගෙන් අතේදුර ආදරයක් වත් නොලබපු 9 ශ්‍රී 5333 බොහොම ටික කාලයක් ඇතුළත මේ තරම් legend එකක් වේවි කියලා. 


අද බීට්ල් ඉවෙන්ට් වලදී වෙන අය ගත්තු ෆොටෝ ඇල්බම් වල පවා ඉහළින්ම 9 ශ්‍රී 5333 ඉන්නවා දකිනකොට මට වෙලාවකට පුදුමත් හිතෙනවා, අවුරුදු හය හතකට කලින් කලාවක් කරගෙන වෙලාවක් බලාගෙන නිලාවක් පත්තු කරගෙන වලාවක් වගේ ඉන්නවා ඇරෙන්න වෙන හීනයක් නොතිබුණු මම ම නේද මේක මෙතනට ගෙනාවේ කියලා... 

ජීවිතේ කියන්නේ ඇත්තටම Prototypes වල ඉඳලා 2003 දක්වා ඔරිජිනල් බීට්ල් එක ආපු ගමන වගේම සංකීර්ණ දෙයක්...

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
15/07/2017 
www.facebook.com/CarPissuwa
[කාර් පිස්සුවෙ ලිපි වලට කැමති නං බ්ලොග් එකේ web view එකට ගිහිල්ලා (මේක අදාළ ස්මාර්ට්ෆෝන් වලින් ඉන්ටනෙට් යන අයට) Followers ගැජට් එක ළඟ තියන Follow බට්න් එක ක්ලික් කරන්න]

Tuesday, July 4, 2017

9 ශ්‍රී 5333 කතරගම ගමන - අවසාන කොටස (කිරිවෙහෙර, කතරගම, රන්මිණිතැන්න)



කතරගම දේවාලය කියන්නේ මගේ හිත සන්සුන් කරන තැනක්...

ලංකාවේ අනික් කිසි තැනක දකින්න නැති සංහිඳියාවක් කතරගම තියනවා. මම හැමතිස්සෙම කියන්නේ කතරගම තමයි ලංකාවේ සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු දිහා ගෞරවයෙන් බලන එකම තැන කියලා. මම ඉස්සරලම කතරගම ගියේ 2008 අවුරුද්දේ. එදා මම හිටියේ කතරගම පෙරහැර සංවිධානය කිරීමේ වගකීම බාර අරන් හිටපු සමාගමක රචකයෙක් විදිහට. ඒත් ඒ දවස් වල මම අතඇරලා දාපු කාර් එකක වීල් නට් එකක් තරම් තද භෞතිකවාදියෙක් වෙලා හිටපු නිසා කතරගම දේවාලේ අභ්‍යන්තරය සහ පරිපාලනය දිහා සමීපව බලන්න ලැබුණු ඒ ස්වර්ණමය අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මට බැරි වුණා.

ජීවිතේ හරහා කුණාටු දෙකතුනක් හමාගෙන ගිහින් ඔළුවේ නරකෙසක් දෙකක් කරළියට එනකොට මගේ භෞතිකවාදේ ටිකෙන් ටික ලීක් වෙන එන්ජිමක ඔයිල් වගේ සැලකිය යුතු දුරකට අඩුවෙලා ගියා. තාමත් මම ආගමේ නාමෙන් කරන කුණු වැඩ වලින් ඈත් වෙලා ඉන්න අතරේ ඉඩක් ලැබුණු වෙලාවට කතරගම ගිහින් එනවා. ඒ වගේම ලයිට් කණු වල යකඩ කටවල් බැඳගෙන දවස පුරා කාලීන බණ, කයි බණ, රජ බණ, වැදි බණ ඇතුළුව බුදු බණ ඇර අනික් සේරම කියන පන්සල් නැතුව ඉඳහිටක දුර ඈත හෝ ළඟ මෑත යන වෙලාවක ඔය යටාල හෝ පතහවත්ත වගේ පන්සලක් දැක්කොත් පොඩ්ඩක් ගොඩවැදිලා මලක් පහනක් පූජා කරලා එන්නත් මම අමතක කරන්නේ නැහැ.

පතහවත්ත
2008 අවුරුද්දෙන් පස්සෙන් මම කතරගම ගියේ 2016 අවුරුද්දේ. ඒ ගියේ අපේ මාමණ්ඩිගේ ජපන් ඇල්ටෝ එකේ. යනකොට පිටිපස්සේ සීට් එකේ ගිය මම එනකොට කතරගම ඉඳන් වාහනේ එළවගෙන ආවා. ඒ ගමනේදී ජපන් ඇල්ටෝ (සහ මම හිතන්නේ පොදුවේ ජපානෙන් එන Kei කාර් වර්ගයේ වාහන) ගැන ඉගෙනගත්තු කාරණා කීපයක් තියනවා.

1. පිටිපස්සේ සීට් එක හරියට වසන්ත සර්ගේ සාමාන්‍ය පෙළ විද්‍යාව ක්ලාස් එකේ පොල් කීරි ඇනෙන බංකුවක් වගේ. ඒ සීට් වල ඉඳගෙන කිලෝමීටර් දෙතුන් සීයක් ගියාම පශ්චාත් භාගෙට වින්ටජිනෝ ගාන්න වෙනවා.

2. ඉස්සරහ සීට් දෙක නම් ටිකක් විතර සැප පහසුයි. හැබැයි පනස් ගණන් වල හැට ගණන් වල ආපු කාර් වල සීට් අහලකින් තියන්න බැහැ. ඒ අතින් මගේ පනස් පහේ මයිනරේ සීට් එක සක්කරයාගේ non-heated, non-පඬුපුල්, ෆුල් ලක්ෂරි ආසන වලින් එකක් වගේ.

3. වාහනේ තියෙන්නේ මූලික පහසුකම් විතරයි. බීට්ල් එකට හෝ මයිනරේට හෝ වෙනත් ඕනෑම ක්ලැසික් කාර් එකකට වඩා විශේෂ feature එකකට කියලා තියෙන්නේ ඒ.සී. විතරයි (මම හිතුවේ පවර් මිරර් වත් ඇතියි කියලා. සයිඩ් කන්නාඩි ඇජස් කරන්නේ කොහොමද කියලා ඇහුවම මම ඒ ඇහුවේ මොකද්ද කියලා තේරුම් ගන්න මාමණ්ඩිට විනාඩි 5 ක් විතර ගියා).

4. හැබැයි එළවන්න ගත්තම ඒ පුංචි හයසිය පනහ සීසී එන්ජිම අපිව පුදුම කරවනවා. කොටින්ම පාර මැද තියාගෙන කොටන අත් ට්‍රැක්ටරයක් හෝ ප්‍රියස් එකක් හෝ ඕවර්ටෙක් කරන්න ඕනේ නම් යටිපතුලින් ෆ්ලෝ බෝඩ් එක ඉඹින්න අවශ්‍ය නැහැ. පොඩ්ඩක් ගෑස් දීපු ගමන් වාහනේ ඕවර්ටේක් කරන්න අවශ්‍ය පිකප් එක එනවා. ස්ටියරින් වීල් එක නම් බීට්ල් එකට වඩා සෑහෙන්න බරයි සහ dull, හැබැයි වාහනේ පුංචි නිසා හැන්ඩ්ල් කරන්න පහසුයි (මෙතන මම හැන්ඩ්ල් කරන්න කියන යෙදුම පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් car reviews වලදී පාවිච්චි කරන handling කියන යෙදුමේ අර්ථයෙන් නෙමෙයි).

5. රැට්ස් අයිස් පල්ලා ජීවිතේට ජපන් ඇල්ටෝ එකක් ගන්නේ නෑ!

ජපන් ඇල්ටෝ එකක්
ආපහු අපේ මූලික කතාවට එමුකො. යටාලෙන් පිටත් වෙලා අපි කෙළින්ම ආවේ එදා රෑ ගතකරන්න නියමිත නවාතැනට. සණස නිවාඩු නිකේතනය තමයි අපි නවාතැන් ගන්න තෝරගෙන තිබුණේ. අපේ ගමන් සගයා ඉන්දික කලින් එහෙ කීප වතාවක් නතර වෙලා තිබුණු නිසාත්, එහෙන් දෙන තේ එකක රස වචන වලට නගන්න විදිහක් නැතුව ටෙලිෆෝන් සංවාද ගණනාවකදී ගොළු වුණු නිසාත් අපි එතන නවතින්න එක පයින් කැමති වුණා.

සෙල්ල පාරේ අතුරු පාරකට හැරිලා සණස නිවාඩු නිකේතනයට යන්න තියන පාර දැක්කම මට ඉලක්කම් දෙකක් සහ ඉංග්‍රීසි අකුරු දෙකක් මතක් වුණා.

4DR5...



කවුරුහරි ක්ලැසික් මිනි එකක හෝ බොඩි කිට් ගහපු/පාත් කරපු කාර් එකක ආවා නම් කාර් එක මග දාලා තමයි නවාතැනට යන්න වෙන්නේ. පාරේ ඇතුළට මහා දුරක් යන්න නැති වුණාට අර පරණ වීර කතාවල නැව මුහුදුබත් වෙන්න කලින් කුණාටුවට අහුවෙලා හතර අතට පැද්දෙනවා විසික් වෙනවා උඩ යනවා යට යනවා වගේ තමයි කාර් එක ඒ පාරේ යන්න වෙන්නේ. තමන්ගේ වාහනේට හදවතේ අක්කර පාළොස්දාහක් වෙන්කරලා තියන අපි වගේ මිනිස්සුන්ට ඒ පොඩි දුර පවා මහා දුකක්. ඒ නිසා ඉදිරියේ ඉඩක් ලැබුණු දවසක ඉන්දිකට වීල් බ්‍රෂ් එකකින් සහ ස්පෙයා වීල් එකකින් ඔළුවට ගහන්න දිවුරා පොරොන්දු වෙමින් මම හෙමින් හෙමින් නැව හසුරුවාගෙන සණස නිවාඩු නිකේතනය කියන දූපතට ගොඩබැස්සා.

පාර මීටර් පනහක් හැටක් කචල් වුණාට සණස නිවාඩු නිකේතනය බොහොම නිදහස් තැනක්. කාමර හොඳට ඉඩ පහසුයි. ආහාරපාන ප්‍රණීතයි. කාර්ය මණ්ඩලය සුහදයි. ඒ නිසා ආයේ දවසක බීට්ල් එකේ හෝ වෙන හොඳට ground clearance තියන වාහනේක ආවොත් මම ආපහු එතන නවතිනවා.

එදා රෑ කිරිවෙහෙරට ගිහිල්ලා පහුවදා උදේ කතරගම දේවාලයට යන එක තමයි අපේ සැලැස්ම වුණේ. කිරිවෙහෙර හරිම අපූරු තැනක්. නමුත් හැම තිස්සෙම මහා ජන ගංගාවක් එතන තෙමා ගලන නිසා ඒ අපූර්වත්වය නිදහසේ විඳින්න හරි අමාරුයි. පෙරහැර කාලේ නොවුණත් එදා පවා සෑහෙන සෙනගක් හිටියා. ඒ වගේම නඩත්තු කාර්ය මණ්ඩලය තාප්ප කඩකඩා මොනවදෝ විදුලි රැහැන් වගයක් අදිනවා. ඒ නිසා හිත එකඟ කරගන්න එක අමාරු වැඩක්. අනික් අතට හැම තිස්සෙම මගේ මතකයට එන්නේ මේ පසුකාලීන ගොඩනැගිලි, තාප්ප, ඇවිදීමේ මාවත් නැතුව තිබුණා නං සහ පිළිම වහලා තියන වීදුරු කුටි නොතිබුණා නං කතරගම දේවාලයට ඇසට අසුවන මායිමේ තියන මේ පින්වත්ත පුදබිම කොච්චර සිත් පහන් කරාවිද කියලයි. මේ ලියන මොහොතේ පවා මම දුර ඈත අතීතයේ දවසක හඳ එළියෙන් මෙතනට ආපු බුදල් කෙනෙකුගේ හෝ ගමණි කෙනෙකුගේ දෑස බුද්ධාලම්බන ප්‍රීතියෙන් තෙත් වෙලා යන හැටි සත්‍යජිත් රායිගේ චිත්‍රපටියක් වගේ මනසින් දකිනවා. 


පහුවදා උදේ හයහමාරට විතර කතරගම දේවාලයට යද්දී මම අපේක්ෂා කරපු තරම් සෙනගක් හිටියේ නැහැ. මීට කලින් ආපු දෙපාරම රාත්‍රියේ දේවාලයට ආපු මට මේ විදිහට උදේ කතරගම දේවාලයට එන එක වෙනස් අත්දැකීමක් වුණා. කතරගම දේවාල පරිශ්‍රය හරිම පිරිසිදුයි. ඒ විදිහට ඒ භූමිය පවත්වාගෙන යන්න කාර්ය මණ්ඩලය සෑහෙන්න කැපවෙලා වැඩ කරනවා. 2008 දී මේ කාර්ය මණ්ඩලය එක්ක ටිකක් සමීපව ගනුදෙනු කරන්න ලැබුණු නිසා මේ අයගේ භක්ති පූර්වක  කැපවීම මට මතකයි.

දේවාල පරිශ්‍රයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ස්ථාපිත කරපු කෞතුකාගාරයක් තියනවා. අපි ගියේ උදේම නිසා ඒක විවෘත කරලා තිබ්බේ නැහැ. අරින වහන වෙලාවල් දක්වලා තියනවද කියලා බලන්න ගියත් ඒ මොකවත් දාලා තිබ්බේ නැහැ. දේවාලේ පරිපාලන කාර්යාලයෙන් ඇහුවම එයාලටත් කිසි දෙයක් දැනුම් දීලා නෑ කිව්වා. කොටින්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියකවත් ඒ ගැන තොරතුරක් නැහැ. කවදා කීයට දොරටු අරිනවද කියලවත් දන්නේ නැති කෞතුකාගාරයක් වෙනුවෙන් බලන් ඉඳලා වැඩක් නැති නිසා අපි මහා දේවාලයයි වල්ලි අම්මා දේවාලයයි වැඳපුදාගෙන ආපහු ආවා.



සණස නිවාඩු නිකේතනයෙන් උදේට කටට රසට බත් කාලා අපි ආපහු එන්න පිටත් වුණා. එන ගමනේ සැලැස්ම තිබුණේ රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය සහ මිරිජ්ජවිල වියළි කලාප උද්භිද උද්‍යානය. මේ තැන් දෙකම සෑහෙන වෙලාවක් ගතවෙන්න ඉඩ තිබුණු තැන් නිසා සහ වීරවිල NLDB එකෙන් කිරි නිෂ්පාදන ගැනීම, වීරවිල ගුවන් හමුදා ආපනශාලාවෙන් දවල් කෑම ගැනීම, මිරිජ්ජවිල පැත්තෙන් දොදොල් ගැනීම සහ තවත් මගදී හම්බවෙන කඩ වලින් කාටවත් වැඩක් නැති, ඒ වුණාට ට්‍රිප් එකක් යනකොට දැක්ක නිසා නොගෙනත් බැරි දේවල් ගැනීම වගේ ගොඩක් දේවල් කරන්න තිබුණු නිසා මිරිජ්ජවිල ගැන කොහොමටත් විශ්වාසයක් තිබ්බේ නැහැ.

රන්මිණිතැන්නට හැරෙන තැනත් ගූගල් මැප් එකේ පෙන්නන්නේ වැරදියට. ඒ නිසා කාර් පිස්සුවෙ හිතමිතුරෙක් වන ධනුක ගුණසේකර තමයි මට හැරෙන තැන ගැන හරියට මග ලකුණු කිව්වේ. කතරගම යන ගමන් මම පුංචි පාලමක් එක්කම වගේ තියන, පැත්තක් කැඩුණු පිගානක තියන නෙළුම් මලක් ගිලින්න හදන මාළුවෙක් වගේ ඉන්න ස්ථම්භ රාජයාව මතක තියාගෙන ගියේ. ඒ නිසා එන ගමනේ කාගෙන්වත් තැන අහන්න අවශ්‍ය වුණේ නැහැ.



රන්මිණිතැන්න කියන්නේ චිත්‍රපටි සහ ටෙලිනාට්‍ය හදන්න indoor සහ outdoor studio එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් තැනක්. ඒක අපට ගිහිල්ලා බලන්න තරම් දෙයක් බවට පත්වෙලා තියෙන්නේ Bombay Velvet චිත්‍රපටියට ගහපු බොම්බේ නගරයේ සෙට් එක එහෙමම තියෙද්දී ඒ crew එක වැඩ ඉවර කරලා යන්න ගිය නිසා. ඒ ඇරෙන්න ඔය මුවන්පැලැස්සට ගහපු ගෙවල් දෙකතුනක් සහ රජ මාලිගේක දොරටුවක් වගේ සෙට් දෙකතුනක් තියනවා. එච්චරයි. බොම්බේ නගරයේ සෙට් එක වේගයෙන් විනාස වෙමින් යන්නේ. මේවා ඉතින් කල් පවතින්න ගහපුවා නෙමෙයි නේ. ඒවා ආරක්ෂා කරගෙන ඇති වැඩකුත් නැහැ. තව වැහි හත අටකට සහ හුළං හත අටකට අහුවුණාට පස්සේ රන්මිණිතැන්නේ ගිහින් බලන්න වෙන්නේ මඩවගුරක් සහ අතුපැලවල් කීපයක් විතරයි.








කොහොම වෙතත් පළවෙනි පාරට ගියාම එතන වෙලාව ගතවෙන එක දැනෙන්නේ නැතුව යනවා. මොකද බොම්බේ නගරයේ ඉඳන් හිතේ හැටියට ෆොටෝ ගන්න පුළුවන්. අපි ඉතිං සෙල්ෆි යුගයේ අපතයෝ නිසා බැටරි බහිනකල් ෆොටෝ ගහනවා.

රන්මිණිතැන්න ඇතුළට කාර් එක ගෙනියලා ෆොටෝ ටිකක් ගන්න පුදුම ආසාවක් තිබ්බත් ආරක්ෂක නිලධාරීන් බොහොම දුකින් කිව්වා ඒකට අවසර නැහැ කියලා. ඊට පස්සේ එයාලා බීට්ල් එකේ ලස්සන සහ පරණ කාර් වල අගය ගැන කරපු වර්ණනාවකුත් අහලා තමයි අපි ඇතුළට ගියේ.

 රන්මිණිතැන්නේ කාර් පාක් එක

මම වැඩි හරියක්ම රන්මිණිතැන්නට දිව්වේ එහෙ තියන අසරණ ඔස්ටින් එක බලන්න. එතැනදී ගත්තු මෙන්න මේ ෆොටෝ එකත් එක්ක මෙහෙම සටහනක් මම කාර් පිස්සුවෙ ෆේස්බුක් පේජ් එකේ ලිවුවා. මේක සත්‍ය සිදුවීමක්.





"මේ සිදුවීම මගේ කැමරාවට අහුවුණේ රන්මිණිතැන්නේදී...

මේ තියෙන්නේ රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ තියන පරණ ඔස්ටින් එක... 

වාහනයක් ගිනිගන්න සීන් එකක් ගන්න ඕන වුණාම ටෙලිනාට්‍ය/චිත්‍රපටි අධ්‍යක්ෂවරු ගිනි තියන්නේ මේකට... 

මේක දැන් දෙතුන් පාරක්ම ගිනි අරන්...

හැබැයි තාමත් සෑහෙන දුරකට කෙළින් කටින් තියනවා...

මේ අංකල් තව කට්ටියක් එක්ක රන්මිණිතැන්න බලන්න ආපු කෙනෙක්... අපි වගේම... 

එයා මේ කාර් එක ගාවට දුවගෙන ඇවිත් මේ කියන්නේ, 

"පේනවා නේද යකඩ? මෙච්චර වෙලත් තාම හොඳ හයියයි. ඒ කාලේ ආපු වාහන මේ..." කියලා... 

මම ආවේ හැත්තෑ තුනේ බීට්ල් එකක කියලා අංකල් දන්නේ නෑ. මම කියන්න ගියෙත් නෑ. 

නමුත් අංකල් කියපු කතාව ඇත්ත කියලා පරණ වාහන කීපයක් එක්ක ඔට්ටු වුණු මම දන්නවා... 

කාර් පිස්සුවත් එක්ක ඉන්න ඔයාලත් ඒක දන්නවා... 

මෙන්න මේකයි අලුත් වාහන මොන තාක්ෂණය එක්ක කොච්චර අඩුවට ආවත් 

අපි පරණ වාහන මත්තෙම නහින්නේ... 

අපි තමයි කාර් වලට සිංහලෙන් ආදරය කරන පරපුර...

- කාර් පිස්සුව"


රන්මිණිතැන්නේ හිතුවට වැඩිය වෙලාවක් ගතවුණා. එතනින් එළියට ඇවිත්, වීරවිල NLDB ගොවිපළෙන් මීකිරි සහ කිරිටොෆි අරගෙන, ගුවන් හමුදා ආපනශාලාවෙන් බොහොම රසවත් ආහාර වේලක් රස බලලා, මිරිජ්ජවිලට කිට්ටු කරලා දොදොල් එහෙමත් අරගෙන ඉවර වෙනකොට හවස් වෙලා. මිරිජ්ජවිල උද්‍යානය පැයකින් දෙකකින් බලලා ඉවර කරන්න බැරි නිසා ඒක ඊළඟ සවාරිය තෙක් කල් දාන්න අපි තීරණය කළා.


ගුවන් හමුදා ආපනශාලාවේ ප්ලේන් එක

හම්බන්තොට සුපිරියට හදාපු, බල්ලෙකුට වැඩක් නැති පාරවල් දිගේ ඇවිත් ආපහු තංගල්ල පාරට දාලා මාතරට ඇවිත් අපි මාතරින් හයිවේ එකට දාලා, වැලිපැන්නේ ජරාව ආයෙමත් කාලා කොට්ටාවෙන් එළියට දැම්මා. එතනදී තමයි මට තට්ටයාගේ කොලම ලියන මංජුල පෙරේරා හම්බවුණේ. 9 ශ්‍රී 5333 පිටිපස්සෙන් ඇවිත් මට සංඥා කරලා නවත්තගෙන ළඟට ඇවිත් කතා කරලා යන්න තරම් මංජුල නිහතමානී වුණා. අනුරාධපුර ගමනේදී එරංග හම්බවුණා වගේ මේ ගමනේදීත් කාර් පිස්සුව නිසා මාව නාමිකව දැන හඳුනාගෙන හිටපු කෙනෙක් ඇත්තටම හමුවීම පුදුම සතුටක්.


හම්බන්තොට පැත්තට දුවන පාරවල්

මහරගමින් ඉන්දිකව බස්සලා, ටවුමට දන්සැල් වන්දනාවේ සපැමිණි ජන ගංගාව අස්සෙන් දුක සේ පාවෙලා ගෙදර එනකොට රෑ වෙලා. එදා රෑ ඉවර කරන්න පොඩි පහේ පරිවර්තන වැඩක් ඇවිත් තිබුණු නිසා ඒකත් ඉවර කරලයි මම නින්දට ගියේ. දවස් දෙකකදී කිලෝමීටර හයසීයක් විතර එළෙව්වා කියලා මට කිසිම වෙහෙසක් දැනුණේ නැහැ. මේක කියන්නේ බීට්ල් එක බොරුවට පුම්බන්න නෙමෙයි. බීට්ල් ගැන හොඳ කියනවා නම් මට වෙන දේවල් ඕන තරම් තියනවා කියන්න. 

9 ශ්‍රී 5333 කියන්නේ පවර් ස්ටියරින්, ඒ.සී අනං මනං මොකුත් නැති කාර් එකක්. එහෙම තියෙද්දී ඔච්චර දුරක් එළවද්දී මට වෙහෙසක් කියලා දෙයක් නොදැනුණා කියන්නේ බීට්ල් එළවන එක ඔය සමහරු කියනව වගේ ටිකක් හෝ අමාරු දෙයක් නෙමෙයි කියන එකයි. මේක අනුරාධපුර ගමනේදී වගේම බීට්ල් එකත් අරගෙන දුර යන හැම ගමනෙදීම මට දැනුණු දෙයක්. ගිනිගහන අවුවේ ට්‍රැෆික් එකේ කොළඹ යන එක අමාරුයි කියල මම පිළිගන්නවා. ඒ වුණාට අපට ගිනිගහන අවුවේ කොළඹ යන්න වෙන්නේ කොච්චර කලාතුරකින්ද! අනික අවශ්‍ය නම් බීට්ල් ඒ.සී. කරන්න බැරිකමකුත් නැහැ.


බීට්ල් එක කියන්නේ නිකම්ම නිකම් වාහනයක් නෙමෙයි. බීට්ල් එක කියන්නේ lifestyle එකක්. ඒක හුදෙක් ප්‍රවාහනය කියන සීමාවෙන් ඔබ්බට ගිය දෙයක්. මේක ඇත්තටම දැනෙන්න ගන්නේ ගමේ/ටවුමේ හතරමායිමෙන් එහාට ගිහින් දුර ඈතක ගිහින් අවට පස්සේ. 

ඒ නිසා අනාගතේ දවසක ක්ලැසික් කාර් එකක් ගන්න ආසාවෙන් ඉන්නවා නම්, හොඳ බීට්ල් එකක් ලැබුණොත් අතඅරින්න එපා... හැබැයි හොඳ එකක් ගන්න. වාහනේට කිසි ආදරයක් නැතුව පිටිපස්සේ සීට් එකත් ගලෝලා පොල් පටෝගෙන බිස්නස් කරලා බංකොළොත් වෙච්චි හාල්පාරුවෙක් තෙබුකොරටුවේ ගෙදර වසන්ති අක්කගෙන් ගත්තු පොලී සල්ලි ටික ගෙවන්න 'අලුත් ටයර් බැටරි සුපර් රනින් මුදල් හදිසියකට දෙමි' කියලා දාන ඒවා දැක්ක ගමන් පොඩි එකා අයිස්ක්‍රීම් දන්සැලට දුවලා ගිහින් අයියා උදුරයි කියලා කෝන් එක ලොටොස් ගාලා කටේ ඔබාගත්තා වගේ ඔක්කෙ ගහගෙන ඇවිත් ඊට පස්සේ ඇද්ද පොල් වික්ක පොල් බින්ද පොල් වල අකුසල් පලදෙද්දී මට දෙහි දොඩම් නාරං ජම්බෝල කපන්න එපා... 

(9 ශ්‍රී 5333 කතරගම ගමනේ කතාව සමාප්තයි)

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
04.07.2017 
www.facebook.com/CarPissuwa

Saturday, June 24, 2017

9 ශ්‍රී 5333 කතරගම ගමන- දෙවෙනි කොටස (ගල්කණුමණ්ඩිය සහ යටාල)




මේ ලිපි මාලාවේ කලින් කොටසේ කිව්වා වගේ උස්සන්ගොඩින් පිටත් වුණාට පස්සේ අපේ ඊළඟ අරමුණ වුණේ ගල්කණුමණ්ඩිය. ගොඩවායේ යන්න හිතන් හිටියත් උස්සන්ගොඩ හිතුවට වඩා කාලයක් ගතවුණා. ඊට පස්සේ කෑම කන්නත් වෙලාව ගියාට පස්සේ ඉරට අසූහාරදාහට මල පැනලා තිබුණේ. ඒ ගිනි ගහන අවුවේ ගොඩවායේ ගියොත් අභ්‍යන්තර හා බාහිර ඉන්ද්‍රියන් රෝස් වෙන්න ඉඩ තිබුණු නිසා අපි එතන ප්ලෑන් එකෙන් කපාහැරලා 9 ශ්‍රී 5333 එක්ක ගල්කණු මණ්ඩිය පැත්තට ගියා.

හම්බන්තොට පාරෙන් තිස්සමහාරාම පාරට හරවලා වීරවිල හන්දියෙන් හැරිලා දෙබරවැව පහුකරගෙන ගිහින් දෙබරවැව හන්දියෙන් දකුණට දාලා කතරගම පාරේ ගියර් දෙකතුනක් මාරු කරනකොට ගල්කණුමණ්ඩිය හම්බවෙනවා. මෙතන තියෙන්නේ ගල්කණු ගොඩක් විතරයි. එහා පැත්තේ සෙල් ලිපියක් තියනවා. එච්චරයි. කතරගමට ළඟාවීමේ සැහැල්ලුවෙන් යන නඩ වලට මෙතන මීටර් වෙන්නේ කලාතුරකින්. යටාලේ නතර වුණත් කෙනෙක් මෙතන ලේසියකින් නතර වෙන්නේ නැහැ. යටාලේ නම් අඩු තරමින් චෛත්‍යය පාරට පේනවා. ගල්කණුමණ්ඩිය ගාව හිටවපු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බෝඩ් එක දකින්නත් සංසාරේ පුරා බෝඩ් පාරමී පුරාගෙන එන්න ඕනා. ගූගල් මැප්ස් වලට පින්සිද්ධ වෙන්න අවට පරිසරය හුරුවෙලා තිබ්බා නිසා තමයි තැන ඉක්මනට හොයාගත්තේ.



ගල්කණුමණ්ඩිය හරි අපූරු තැනක්. මෙතන තියන සෙල් ලිපියට අනුව මේක පළවෙනි හෝ දෙවෙනි සියවසට විතර අයිති ගොඩනැගිල්ලක් විදිහට හඳුනාගෙන තියනවා. නමුත් මේක මොන අරමුණකට භාවිතා කළාද කියන එක තාම නිශ්චිතව හඳුනාගෙන නැහැ. පැහැදිලිව කියන්න පුළුවන් දේ තමයි මේක අඩුම තරමින් තට්ටු දෙකට තිබිලා තියන බව. උඩ තට්ටුව සවිමත් කරන ලී රඳවන්න පුළුවන් වෙන්න කල් කණු වල උඩ කට්ට කපලා තියනවා. මේ කාලසීමාවට අයිති මේ වගේ ඓතිහාසික සිහිවටන ශ්‍රී ලංකාව ඇතුළේ හම්බවෙන්නේ බොහෝ දුරට අනුරාධපුර වගේ පළාත්වලින් නිසා මේක සුවිශේෂයි.



මෙතන වැදගත්ම සොයාගැනීමක් වන සෙල්ලිපිය තියෙන්නේ ගල් කණු වලට එහා පැත්තෙන්. එතන අගල් හැදිලා සහ කැලෑව වැවිලා තියන විදිහට ගල් කණු වලින් එහා පැත්තට පනිනවා නම් දූ දරුවන්ට දේපළ ලියල දීලා පනින්න ඕනා. කොටින්ම අප්‍රිකානු වනාන්තර වල වත් නැති හොම්බ හතරැස් වලිග රවුම් හොට අටපට්ටම් සත්තු ඒ ගාලවල් අස්සේ ඇතියි කියලා මට හිතුණා.


සෙල් ලිපිය බලන්න යන පාර ඇහුවම එතන පාර අයිනේ කඩේකින් කිව්වා 'එහා පැත්තේ පාර තියනවා, හැබැයි බලාගෙන යන්න, කටු තියනවා' කියලා. වාහනේ එතන ළඟට අරගෙන යන්න පුංචි පාරක් තියනවා දැක්කත් දෙපැත්තේ තිබුණු පොල් ගස් වල උසේ හැටියට කුරුම්බැට්ටියක් වැටුණත් මිචෙල් ස්ටාක් බෝලයක් දැම්මා වගේ සැර වෙන්න ඉඩ තියෙන නිසා ඒ ගොන් වැඩේ නම් කළේ නැහැ.

මෙතන තියන සෙල් ලිපියට කියන්නේ ඇතාබැඳිගල ටැම් ලිපිය කියලා. මේ ලිපියට අනුව දේවානම් පියතිස්ස රජ්ජුරුවන්ගේ මුණුබුරා වුණු ගාමිණී අභයගේ පුතා රොහිණික ගාමිණී අභය බදු වර්ග දෙකක් මේ විහාරයට පූජා කරලා තියනවා. ටැම් ලිපිය ආවරණය කරන්න හදලා තියන වියන නම් ලස්සනයි. නමුත් වැඩි පිරිසකගේ අවධානයට ලක්වෙලා නැති නිසා කැලෑව වැවිලා තියෙන හැටි දැක්කම දුක හිතෙනවා. මෙතන ඉඳන් අවට බලනකොට තේරෙනවා මේ පුරාවිද්‍යා භූමිය මහා විසාල එකක් වෙන්න ඕනේ කියලා. ඒත් එතන වැඩි කැණීමක් සිද්ධ වෙලා තියන බවක් පේන්නේ නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එහෙමට කියලා මුදල් සැපයුමක් නැති බව මම දන්නවා. අනික මේ වටේ ඉඩම් වල අයිතිකාරයොත් බයේ ඇත්තේ...





එතන පාර අයිනේ තියන කඩේකින් බඩ ඉරිඟු කරල් දෙකතුනකුත් අරගෙන අපි යටාලට යන්න පිටත් වුණා. ගූගල් මැප් එකේ බලද්දී ටිකක් හරි දුරයි වගේ පෙනුණට බීට්ල් එකේ විසිල් එක හරියට ඇහෙන්නත් කලින් මෙන්න අපි යටාලේ කාර් පාක් එකට ඇවිත්...

මම ඉස්සරලාම යටාලට ආවේ 2008 දී. එතකොට මම වැඩ කරපු කොම්පැනියේ ලොක්කා, එතන Art Director වුණු මහේෂ් සහ මගේ විශ්ව විද්‍යාල සගයෙක් වුණු, ඒ වෙනකොට පුරාවිද්‍යා විශේෂ උපාධිය කරමින් හිටපු ජීවනත් එක්ක කතරගම පෙරහැරේ වැඩ වගේකට ගිහින් එනගමන් තමයි අපි අහම්බෙන් මෙතනට ගොඩවුණේ. අර නෙළුම් මල් පිපුණු දිය අගල තරණය කරන්න පළවෙනි අඩිය තියාපු ගමන් මගේ හිත යටාල ගැන භක්තියකින් පිරුණා. බලන බලන තැන පුරා වස්තු පිරුණු, බලු බල්ලෙක් නැති ඒ පින්වන්ත භූමියේ මොකක්දෝ සන්සුන් ථෙරවාදී බවක් මට දැනෙනවා. ථෙරවාදී බුද්ධාගම කියන්නේ 'වවුලෙක් වගේ ඕවයේ එල්ලිලා ඉන්නේ නැතුව ඔය ගංගාව තරණය කරලා මේ පැත්තට වරෙව්' කියන ආගමක්. යටාල වෙහෙරයි ප්‍රධාන පාරයි වෙන් කරන දිය අගල හරියට සංසාරයයි නිර්වාණයයි අතර තියන පරතරය වගේ...



ජනක වෙත්තසිංහ ලියපු, 2014 පෙබරවාරි 18 වෙනිදා බුදුසරණ පත්තරේ පළවුණු ලිපියකට අනුව යටාල චෛත්‍යය තමයි රුහුණේ පළවෙනි චෛත්‍යය විදිහට සැලකෙන්නේ. මහානාග යුවරජතුමාගේ බිසවට මේ ස්ථානයේදී පුතෙක් ලැබුණා ලු. ඒ පුත්තරයට නම තියලා තියෙන්නේ යටාල තිස්ස කියලා. මේ සිද්ධිය සිහිවෙන්න යුව රජතුමා එතන ස්තූපයක් කරවපු බවත්, ඒ ස්තූපයට යටාල කියල නම තියපු බවත් ඒ ලිපියේ දැක්වෙනවා. ඒ වගේම ඇතැම් සෙල්ලිපි වල මේ චෛත්‍යය 'දළදා දාගැබ' විදිහට හඳුන්වනවා ලු. සතුරු ආක්‍රමණ වලදී දන්ත ධාතුව මේ චෛත්‍යයේ නිදන් කරලා තියෙන්න ඇති කියලා හිතනවා.





මළුව වටේ බලන බලන අත පේන්නේ හරිහමන් අවසානයක් නැතුව මිහිපිටින් මැකිලා ගිය ඉතිහාසයක කතන්දර ගොඩක්. අපි යනකොට මළුව වටේ තියන අපූරු පිළිම ටික අවුවෙන් වැස්සෙන් බේරගන්න වහළවල් ගහන්න කොන්ක්‍රීට් කණු දාන්න ලෑස්ති කරමින් තිබ්බේ. ඊට අමතරව අලුත් පන්නයේ සෙවිලි තහඩු වර්ග පාවිච්චි කරලා සමහර පිළිම උඩින් වහලවල් ගහමින් තිබුණා.  පැරණි ස්මාරක දෙපැත්තෙන් කොන්ක්‍රීට් කණු ඔබලා වහලවල් ගැහුවම මට ඒවා පෙන්නේ කොකිසක් අයිසින් කරපු තරම් කැතට. ඒ වුණාට සිද්ධවෙන කාලගුණ විපර්යාස වල හැටියට මේවා බේරගන්න වෙන ක්‍රමයක් නෑ කියලත් මම දන්නවා. 





යටාලේ අපූරු කෞතුකාගාරයක් තියෙනවා කියල මට මීටර් වුණේ මේ පාර. 2008 දී අපිට ඒ කෞතුකාගාරේට යන්න බැරි වුණා (ඒ කාලේ ඒක තිබ්බේ නැද්ද දන්නෙත් නෑ). පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් සයිට් එකට අනුව මේක B කාණ්ඩයේ කෞතුකාගාරයක්. ඡායාරූප ගන්න අවසර නැති නිසා අවාසනාවකට මට ඒක කොච්චර අපූරු තැනක්ද කියලා ඔප්පු කරන්න විදිහක් නැහැ. ඒක ඉතා පුංචි කෞතුකාගාරයක්; හැබැයි තොරතුරු ගබඩාවක්. ඉන්නේ කොහෙද කියලා අමතක වෙලා අම්මට උඩු කියවෙන ජාතියේ නිර්මාණ ගොඩක් ඒක ඇතුළේ ගොඩගහලා තියනවා. එළියේ කැසිකිළි ගලක් තියනවා සුපිරි ඉන්දියන් සාරියක් තරමට මෝස්‌තර දාපු. කැණීම් වලින් ගොඩගත්තු ගල්කණු කෑලි කෞතුකාගාරය ඉස්සරහ මිදුලේ පේළියට ගොඩගහලා තියෙන්නේ මොරටුව අලුත් පාරේ ක්‍රිකට් බැට් හදන අය ඒවා වේළෙන්න රේල් පාර අයිනේ දිගට දාලා තියනවා වගේ...

එතන හිටපු පුරා විද්‍යා නිලධාරියා එක්ක කතාවක් ඇදගත්තු ඉන්දික පාරෙන් අනික් පැත්තේ සංඝාවාස පරිශ්‍රයේ සිද්ධවෙන කැණීමක් බලන්න යන්නත් අවසර ඉල්ලගත්තා. එතනත් ඡායාරූප ගන්න තහනම්. මේ කැණීම් භූමියෙන් අතිවිශාල මල් ආසනයක් මතුවෙලා තියෙනවා. ඒ ගොඩනැගිල්ල මොකද්ද කියන එක නම් තාම තහවුරු කරගෙන නැහැ මම හිතන්නේ. ගල්කණුමණ්ඩිය පරිශ්‍රයත් ඇත්තටම අයිති යටාල විහාර පරිශ්‍රයටමයි කියලා අර නිලධාරියා කිව්වා. බලාගෙන ගියාම පාරවල් හැදිලා, ගෙවල් හැදිලා, සංඝාවාස හැදිලා තියෙන්නේ ඇසට අසුවන මායිමටත් එහා විහිදුණු ඓතිහාසික පූජාභූමියක් උඩ... මේ ඉතිහාසය කවදාවත් අපට හරියට පාදාගන්න පුළුවන් වෙන එකක් නැහැ. ඉතිහාසයේ ජනප්‍රියවාදී අමූලික බොරු ප්‍රවාද අල්ලාගෙන සති අන්ත පත්තරවල පිටු ගණන් නරිබෙටි වගේ ප්‍රලාප ඇතිරෙද්දී රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් පුරාවිද්‍යා උපාධි අරගෙන එළියට එන උපාධිධාරියෝ ගුරුවරු හැටියට සහ සංවර්ධන නිලධාරීන් හැටියට රස්සාවල් වලට ගිහින් කසාද බැඳගෙන, දරුවෝ හදාගෙන, නිවාස ණයක් අරගෙන, ඇල්ටෝ ලීස් එකක් අරගෙන අයිස් යුගයක් වගේ මනසින් ගල්වෙලා වයසට යනවා... 



යටාලේ ඉතිහාසය වගේම සමස්තයක් විදිහට දකුණේ ඉතිහාසය ගැන චංචල වුණු හිත නිසා මට වෙනදා තරම් බීට්ල් එකේ ෆොටෝ ගන්න අමතක වුණා. නමුත් යටාලෙන් පිටත් වෙන්න හදද්දී බීට්ල් එක ටිකක් ඉස්සරහට අරගෙන චෛත්‍යය පේන විදිහට ෆොටෝ එකක් ගන්න මම අමතක කළේ නැහැ. එහෙම ෆොටෝ දෙකතුනක් ගන්න ගමන් මම කල්පනා කළේ අලුත් කොරොල්ලා එකක හරි, අඩු තරමින් ඇල්ටෝ එකක හරි ආවනම් මේ ගමන මීට වඩා කොච්චර වෙනස් වේවිද කියලයි (මේක ඇල්ටෝ හෝ කොරොල්ලා අයිතිකාරයන්ට කරන අපහාසයක් නෙමෙයි).



බීට්ල් එක මග දිගටම මිනිස්සුන්ගේ අවධානය දිනාගන්නවා. බොහෝ දෙනෙක් කාර් එක දිහා බලන්නේ සතුටක්, පුදුමයක්, කුතුහලයක්, විශ්වාසයක් සහ හිතේසිවන්තභාවයක් වගේ හැඟීම් මාලාවක් පන් පැදුරක් වගේ එකින් එක වෙළුණු මූණු වලින්. ඒක යකඩ සහ මනුස්සකම් අතර තියන පරතරය අතික්‍රමණය වෙන මොහොතක්. වෑන් වල නැගලා සින්දු කියකියා යන නඩ දිහා අමු සියඹලා කාපු ඇඹුලින් බලන පැසුණු කෙසැති පියවරු පවා බීට්ල් එකේ විසිල් එක කනින් අල්ලගෙන හිතින් අතීතෙට දුවන්න වෑයම් කරනවා දකිද්දී හිතට එන හැඟීම කවියකින් වත් කියන්න අමාරුයි.


මේක මට විතරක් දැනෙන දෙයක් නෙමෙයි. මිනිස්සු බීට්ල් වල ගිය සුන්දර සංචාර ගැන තියන වාර්තා වැඩසටහන් අද ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයෙන් පහසුවෙන් හොයාගෙන බලන්න පුළුවන් (දවසක මේ කතා අතරින් මගේ හිත තදටම වශී කරපු කතාවක් සිංහල පාඨකයන් වෙනුවෙන් විස්තර කරන්න මට ලොකු ආසාවක් තියනවා). මේ හැම එකකම වගේ බීට්ල් එක එළවපු කෙනා දිලිසෙන ඇස් දෙකකින් යුතුව මතක අවුස්ස අවුස්සා කියන දෙයක් තමයි කාර් එක දැකපු මිනිස්සු ඒකට දක්වපු ප්‍රතිචාර වල මිහිරියාව. මේ හැම මතකයක්ම එයාලගේ මූණට අහිංසක ආඩම්බරයක් මුහුවුණු අසමාන තෘප්තියක සිනා රැල්ලක් අරගෙන එනවා. මේ ලියන මොහොතේ මගේ මූණෙත් ඒ හිනා රැල්ල එහෙමම ඇති. ඒක ඒ තරම් විශ්වීය හැඟීමක්...

ඒක දැනෙන්නේ බීට්ල් එකක් එළවලා තියන කෙනෙකුට විතරයි...

(පළවෙනි කොටස කියවන්න කැමති අය මෙන්න මේ ලින්ක් එකට  යන්න. ඊළඟ කොටසින් කතරගම දේවාලය සහ රන්මිණිතැන්න ගැන කතාකරමු)

තරිඳු ශ්‍රී ලොකුගමගේ
22.06.2017
www.facebook.com/CarPissuwa

(ෆොටෝ ගත්තේ මම, කෞශි සහ ඉන්දික)